May 15, 2024

ලක්සල, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ඒෂියන් මිරර් මාධ්‍ය ආයතනයේ ආරම්භක සභාපති, ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.

ඒෂියන් මිරර් ආයතනය ආරම්භ කරමින් මාධ්‍ය කේෂ්ත්‍රයේ නව අත්දැකීමක් එක් කිරීමට සමත් වූ හෙතෙම ලංකා පුවත් ආයතනයේ සභාපතිවරයාද ලෙසද කටයුතු කළේය.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 12:07