April 27, 2024

පිළිකා රෝහලේ බෙහෙත් අවසන් - රෝගීන් මාරයා සමග සටනක

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් හටගෙන ඇතැයි පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ඖෂධ වර්ග මෙසේ සති දෙකක සිට නොමැති වී ඇති බවයි පැවසෙන්නේ.

“ටැංග‍්‍රීස් 80” නමැති ඖෂධය ඇතුළු ඖෂධ රැසක් පසුගිය සතියේ සිට රෝහලෙන් නිකුත් කර නොමැති අතර ඒ වෙනුවට පුද්ගලික ඔසුහල්වලින් ඒවා මිල දී ගන්නා ලෙස රෝහලෙන් දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

මෙවන් තත්ත්වයක් මත එම ඖෂධ සඳහා වැයවන අධික මුදල සොයාගත නොහැකිව රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හරහා රෝගීන් බරපතළ ජීවිත අවධානමකට මුහුණ දී ඇති බවත් සඳහන්.

මේ අතර ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචි කේ. එම්. සීලින්නෝනා නමැති 66 හැවිරිදි කාන්තාවක් මෙලෙස ප්‍රකාශ කොට තිබෙනවා.

“මම ගිය සතියේ බාහිර රෝගී අංශයට ගියා. බෙහෙත් නැහැ කියලා පෞද්ගලික ෆාමසිවලින් ගන්න කීවා. පෞද්ගලික ඖෂධ වෙළෙඳසල්වල ටැංග‍්‍රීස් ඖෂධය එක පෙත්තක් රුපියල් 7500ක් වෙනවා. මේ පෙති දිනපතාම ගත යුතුයි. මම දැන් සති දෙකක ඉඳලා බෙහෙත් නැතිව ඉන්නේ. මෙහෙම ගියොත් අපගේ ජීවිත කොරෝනාවත් සමග රෝග තත්ත්වයන් උත්සන්න වී අනතුරක තිබෙන්නේ. මේ දෙස නෙත් යොමන ලෙස බලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා.”

මෙම කරුණ සම්බන්ධයෙන් විමසීමට ඒෂියන් මිරර් අප දුරකතනය ඔස්සේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ දැරුවත් එය සාර්ථක වූයේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 11:55