April 27, 2024

කැළඹුණු කාලගුණය : කොවිඩ් මැද ජනතාව තවත් අසීරුවට

අධික වර්ෂාපතනයත් සමඟ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ.

අද පෙරවරු 8.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයටය. එය මිලිමීටර් 336කි. 

මිට අමතරව ගාල්ල පෝද්දීවෙල ප්‍රදේශයට මිලිමීටර් 332.2ක්, ගාල්ල කැටන්දොල ප්‍රදේශයට මිලිමීටර් 318.2ක්, ගාල්ල හිනිදුම ප්‍රදේශයට මිලිමීටර් 292.5ක් ලෙස වර්ෂාපතනය ලැබී තිබිණි.

වරකාපොළ ගස්මුල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ මිය ගිය පුද්ගලයා පනස් පස් හැවිරිදි වියේ පසු වුවෙකු බවය.

යුධ හමුදාව මැදිහත් වී මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර පස් කන්දට යට වී මිය ගිය පුද්ගලයාගේ මව බේරා ගැනීමට යුධ හමුදා භට පිරිසට හැකිව තිබේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටි පවුල් කිහිපයක පිරිස් මුදා ගැනීමටත් යුධ හමුදාව කටයුතු කළේය.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ වරකාපොළ, දැරණියගල, දෙහිඕවිට හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 60ක පමණ ජනතාව ආපදාවට ලක්ව ඇති බවයි.

ගාල්ල ප්‍රදේශයේ උඩුගම, ගමගොඩ, කැටගොඩ, උක්ඕවිට ආදී ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ.

පොලීසිය සඳහන් කලේ එම ප්‍රදේශවල ජනතාව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවය.

මේ අතර ගාල්ල අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32ක තරුණයෙක් ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබිණි.

ඔහුගේ සිරුර අද සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

කැළණි ගගේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හොලොම්බුව ජල මැනුම් ස්ථානයෙන් එය මහා ගංවතුර මට්ටම වන මීටර් 5 ද ඉක්මවා පවතින බවයි.

මේ හේතුවෙන් කැළණි ගඟ අවට පහත්බිම් වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මීට අමතරව පවතින වර්ෂාපතනයත් සමඟ කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ද ජල මට්ටම ඉහල යමින් පවතියි.

ගිං ගඟේ ජල මට්ටම, බද්දෙගම ජල මාපකයේ මීටර් 4.4ක් ලෙස සටහන් වී ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.

ඊයේ (13) රාත්‍රියේ ඇති වූ දැඩි සුලඟ හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ ධිවර බෝට්ටු මහා මාර්ගය අසලට ගෙනවිත් තිබිණි.

බියගම කැලණිය මාර්ගය පට්ටිවෙල මංසන්ධියෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල විය.

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇත.

පෑලියගොඩ මීගහවත්ත වැලි පාර ප්‍රදේශයේ පවුල් 600ක පමණ පිඩාවට පත් වුවන් අදාළ ස්ථාන වලට යොමු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පොලිසිය ක්‍රියා කළේය.

අධික වර්ෂාව හේතුවෙන් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගිරිකුල ග්‍රාමසේවා වසමේ නිවාස 2ක් මතට පස් කඳු කඩා වැටීමෙන් නිවාස කිහිපයක් හානියට පත්ව තිබේ.

අගලවත්ත කුඩලිගම මාර්ගය ජලයෙන් යට වීමෙන් එම මාර්ගයේ අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තාකරුවන් පැවසිය.

හැටන් වටවල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට දියගල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් ඇන හිටී තිබිණි.

පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව අදාළ පස් කන්ද සහ ගල් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය සඳහා එක්‌ මන්තිරුවක් විවෘත කිරීමට කටයුතු කළේය.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද දක්නට ලැබිණි.

කොළඹ කුරුණෑගල මාර්ගයේ යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ, කුරුණෑගල ප්‍රධාන මාර්ගය ද අවහිරව තිබිණි.

අයහපත් කාලගුණ තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ඇතුළු ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදා සූදානම් කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවැසීය.

ගංවතුර, නාය යෑම් හෝ ඕනෑම ආපදා තත්ත්වයකදී ජනතාව ඉන් මුදා ගැනීමට හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඔවුන් රඳවා සහන සැපයීමටද ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇතැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 14:36