April 26, 2024

පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කරන්නැයි යුද හමුදාපතිට හතර විටින් කෝල් ඇවිත් - ජනපතිට අගමැතිටත් කියලා Featured

පිළියන්දල පොලිස් වසම හුදකලා කිරීමේ තීරණය ගත් පසු විවිධ පාර්ශව විසින් තමන්ට දුරකතන ඇමතුම් රාශියක් ලැබුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පිළියන්දල පොලිස් වසම හුදකලා කිරීමත් සමඟ විශේෂයෙන් වෙළඳුන්, ජනතාව සහ ජනතා නියෝජිතයින් විශාල පිරිසකගෙන් දුරකතන ඇමතුම් ලැබුණු බවත් එහිදී සියලු දෙනා ඉල්ලා සිටියේ හදිසියේ ගත් එම තීරණය හේතුවෙන් තමන්ගේ වෙළඳාම් කටයුතු දෛනික කටයුතු සිදු කර ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළුනු බව ප්‍රකාශ කළ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ දෙරණ නාලිකාවේ ඊයේ (03) රාත්‍රී පැවැති 360 සංවාදාත්මක සාකච්ඡාවට එක්වෙමිනි.

පසුව ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් දුරකතන ඇමතුම් දී ඇති බව දැනගන්නට ලැබුණු බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

ප්‍ර දේශයේ ජනතා නියෝජිතයින් ඉල්ලු පමණින් හුදකලා කිරීම් ඉවත් කරනවාද යන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් යුද හමුදාපතිවරයා සදහන් කළේ කිසිවෙකු කියන ආකාරයට හුදකලා කිරීම් සිදු නොකරන බවත් ඒ සඳහා විශ්ලේෂණය කර සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත තීරණ ගන්නා බවයි.

තමන්ට අදාල ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාද කතා කර පිළීයන්දල ප්‍රදේශයේ තත්වය ගැන දැනුවත් කළ බවත් නමුත් තීරණ ගන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගත් තීරණය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් පසු බවත් පසුව යුද හමුදාවද බුද්ධි අංශ යොදවා තත්වය ගැන සොයා බලන බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

කෙසේවෙතත් කොවිඩ් අවදානම මත පිළියන්දල ප්‍රදේශය නොව ඕනෑම ප්‍රදේශයක් හුදකලා කිරීමට හැකි බවද ඔහු අවධාරණය කළේය.

පෙරේදා(02) උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද පෙරේදා(02) රාත්‍රීයේ එම තීරණය වෙනස් කර තිබුණි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 00:59