May 19, 2024

අනුරාධපුරේට ත්‍රිකුණාමලයට එන්න එපා

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දෙයි.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව, උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට මෙසේ පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන්ද වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැර සෙසු ගමන්බිමන්වල නිරතවීම වළක්වන්නැයි ද ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇත.

නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පැවසූවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බවයි.

මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විදුහලේ සිසුන් කීප දෙනකුට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පාසල වසා දමා ඇති අතර ත්‍රිකුණාමලය අභයපුර විදුහලේ විදුහල්පතිවරයාට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහල ද වසා දමා ඇත.

චීනවරාය දෙමළ විදුහලේ  නියෝජ්‍ය විදුහල්පතිට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම එම විදුහලද වසා දැමූ බව පළාත් ලේකම්වරයා කීය.

තවත් පාසල් තුනකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා  එම සිසුන්ගේ පන්තිකාමර පමණක් තාවකාලිකව වසා දමා ඇත.

Rate this item
(0 votes)