April 26, 2024

පරිපාලන ලොක්කන් දේශපාලකයින් නොමග යවලා - ලොකු පුටු වලට මත ගැටුමක් Featured

රාජ්‍ය කලමනාකරණ නිලධාරි සේවයේ අධිපන්තියේ තනතුරු ශ්‍රී ලංකා පරිපාලන සේවයට ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවට සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රාජ්‍ය කළමනාකරණ සේවයේ නියතු 73,000ක් පමණ පිරිස දැඩි තරග විභාගයකට මුහුණ දී ඉන් සමස්ත සුළු පිරිසක් පමණක් අධිපන්තියට පත්වන අතර ඔවුන්ට ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් සහ ලේඛකාධිකාරී තනතුරු හිමිවන අතර එම තනතුරු වෙනත් සේවාවක් විසින් ලබා ගැනීම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවකැයි සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මහතා පැවසීය.

එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 73000ක් පමණ වන පිරිසකගේ තනතුරු උසස්වීම් සියල්ල අහිමි වන බව ද ලලිත් ධර්මසේන මහතා කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් විසින් දේශපාලන අධිකාරිය නොමග යවමින් රාජ්‍ය කලමනාකරණ නිලධාරි සේවයේ අධිපන්තිය අහෝසි කිරීමේ උත්සාහයක නිරතවන බවද වසර ගණනාවක් තිස්සේ තම සේවාවට ලැබිය යුතු වරප්‍රසාද කප්පාදු කිරීමට ඔවුන් කටයුතු කරන බවද ඔහු කීය.

උසස්වීම් අවස්ථා අහිමි වීම, වසර 35ක පමණ සේවා කාලයක් එකම තනතුරේ රැඳී සිටීම, තීරු බදු රහිත වාහන බලපත්‍ර අහිමිවීම, විධායක දීමනා අහිමි කිරීම, ප්‍රවාහන දීමනා අහිමි කිරීම, විදේශ පුහුණු අවස්ථා අහිමි කිරීම ආදී අසාධාරණකම් රැසක් තම සේවාවට සිදු වූ බව ද ඊට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)