May 17, 2024

මිය ගියා කියපු රෝගියාට ඥාතින්ගේ විලාපයට මෝචරියේ දී පණ ඇවිත්

මිය ගොස් බවට සලකා මෘත ශරීරාගාරයට යැවූ රෝගියෙකුට එක්වරම පණ ආපු පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇති බවට මුලින්ම ප්‍රකාශයට පත් කර තිබුණේ ධීවර යාත්‍රා අලුත්වැඩියා කරනු ලබන මීගමුව ප්‍රදේශයේ පදිංචි 40 වැනි වියේ පසුවන පුද්ගලයෙකි.

ඊයේ (09) දිනයේ දී එක්වරම ආසාධ්‍ය රෝගී තත්ත්වයෙකින් පෙළුණු මෙම පුද්ගලයාව ඥාතීන් විසින් මීගමුව දිස්ත්‍රික්ක රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේ රාජකාරියේ නිතර සිටි රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා විසින් එම අවස්ථාව වන විටත් අදාළ රෝගියා මිය ගොස් ඇති බවට තහවුරු කර ඇති අතර පසුව ඔහුව මෘතශරීරාගාරයට භාර දෙන ලෙසද පවසා තිබේ.

මෘතශරීරාගාරය වෙත පැමිණි මිය ගියා යැයි කියූ පුද්ගලයාගේ ඥාතීන් විසින් දේහය අල්ලමින් හඬා වැටෙන්නට පටන් ගෙන ඇති අතර එම අවස්ථාවේ රෝගී පුද්ගලයා සිහිය පැමිණ සිය අතක් ඔසවා තමන් මිය ගොස් නොමැති බවට පවසා ඇතැයි වාර්තා වෙයි.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් විසින් අදාළ පුද්ගලයාව රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබුණි. 

රෝගියා සම්බන්ධව වැඩිදුර පරික්ෂණයක් ආරම්භ කර තිබූ අතර එහිදී හෙළි වී තිබුණේ මෙම ධීවර කාර්මිකයාගේ ශරීරයේ සීනි මට්ටම පහත වැටීම නිසා කෝමා තත්ත්වයෙන් පසුව සිටි බවයි.

මෙම පුද්ගලයා මිය ගිය බවට ප්‍රකාශ කළ වෛද්‍යවරයා සම්බන්ධව මීගමුව රෝහල විසින් විනය පරික්ෂණයක්ද ආරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.

Rate this item
(0 votes)