April 26, 2024

අපේ ආගමට අගෞරව කරන්න එපා - ජොන්ස්ටන් මරික්කාර්ට කියයි

පාර්ලිමේන්තුවේදී බයිබලයකින් ගහගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කිරීමත් සමඟ යලිත් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කලේ පාර්ලිමේන්තුව තුල කවදාවත් බයිබලයක් නොතිබුණු බවත් එහිදී එවැන්නක් සිදු නොවූ බවය.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වන ලදී.

"මට එහෙම අපහස කරන්න කිසිම වුවමනාවක් නැහැ මන්ත්‍රීවරුන්ට. හැබැයි කොයි මන්ත්‍රීත් දැනගන්න ඕනේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල මොනවද තියෙන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ විනයක් තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත තත්වය. දැන් අදත් බලන්න අද 11.35යි. අද ඇත්තටම ඉතාමත්ම අවශ්‍ය කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධව තියෙන විවාදය. ඒ විවාදය සම්පුර්ණයෙන්ම කඩා කප්පල් කළා උදේ. ඒක තමයි මේ විපක්ෂය කරන්නේ. හැමදාම කරන්නේ මේ දේ. ටී.වී එකට පණිවිඩ දෙන්න හදනවා පාර්ලිමේන්තුව ඇතුලෙ ඉඳන්. බොරු ටි.වී. ෂෝ කාරයෙක්. ආසනෙත් පරාදයි."

සමඟි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙසේ අදහස් දැක්විය.

"කතානායකතුමා ඕනේ කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ පුටු කඩන, බයිබල් උස්සලා පොලවේ ගහපු කට්ටිය මේ සාන්තුවරු වෙන්න හදනවා."

නැවත වතාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙලෙස සඳහන් කළේය.

"මෙතුමා කිව්වා මේ විනය ගැන. පුටු කඩලා, බයිබල් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මරික්කාර් මන්ත්‍රීතුමාට අපි කියනවා මේ අපේ ආගමට අගෞරව කරන්න එපා කියලා. කාලකන්නියෙක් වෙන්න එපා. මේකේ බයිබලයක් තිබුනේ නැහැ. කරුණාකරලා ඒක ඉල්ලා අස්කරගන්න කියලා මම කියනවා. මේ පාර්ලිමේන්තුවේදී කවදාවත් බයිබලයකින් ගහලා නැහැ. බයිබලයක් පලවෙනි වතාවට ගෙනාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. කවදාවත් බයිබලයක් තිබිලා නැහැ. කතෝලික ආගමට මෙතුමා අපහස කරනවා."

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 14:04