April 26, 2024

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් තීන්දුවක් ගනී - ඇතුළේ දැවැන්ත අරගලයක්

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ සහ ආණ්ඩුව අතර ප්‍රබල අරගලයක් මතුව තිබේ. 

මේ පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බවයි.

නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද රටේ ජනතාව දුන්නු ජනවරම, ජනතාව තැබූ විශ්වාසය හා 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගැනීමට මෙම අරගලය සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ පසුගිය සතියේදී කොළඹදී අවස්ථා දෙකකදී රැස්විය. ඉන් එක හමුවක් පැවැත්වුණේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේය. දෙවැනි හමුව පැවැත්වුණේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේය.

එම හමුවීම්වලට උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ටිරාන් අලස්, අතාවුල්ලා, වීරසුමන වීරසිංහ යන අයද අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක්ද සහභාගි වී කිබිණි.

එහිදී ජීවන බර සහ පළාත් සභා ඡන්දයේදී එක් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කාරණා දෙකකි.

ජීවන බර සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී පක්ෂ නායකයන් සියලු‍ දෙනාම පෙන්වා දී ඇත්තේ ජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන බැවින් ඔවුන්ට සහන පැකේජයක් වහා හඳුන්වාදීමට රජය පියවර ගත යුතු බවය.

අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට පක්ෂ නායකයන් සියලු‍ දෙනාම තමන් විරුද්ධ බව ප්‍රකාශ කර තිබේ.

Rate this item
(1 Vote)