April 27, 2024

තරුණ සේවා සභාවෙන් රැඩිකල් ව්‍යාපෘතියක්

මෙරට තාරුණ්‍යය නගා සිටුවීම උදෙසා ආරම්භ කෙරෙන startup challenge 2021 වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 1500 මුදලක් වෙන් කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ.

දේශපාලන ව්‍යාපෘති වලට තරුණ ශ්‍රමය දහඩිය වැය කිරීමට තිත තබමින් තාරුණ්‍යය වෙනුවෙන් සිදු කරන රැඩිකල්ම ව්‍යාපෘතිය මෙය බවත් ඊට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙශාර ජයසිංහ මහතා පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ සිව්වන කොටසේ ජව සම්පන්න තරුණයෙක් බිහි කිරීම උදෙසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව සභාපතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති මාධ්‍ය හමුවකදීය. 

වෙළෙඳපොළ මත පදනම් වූ සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 334 සදහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රදේශයේ හොදම ප්‍රශස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදල් ලබා දීම මේ අනුව සිදු කෙරේ.

මෙරට තරුණ තරුණියන් සිදු කරන ව්‍යාපෘතියට අදාළ වාර්තා මාස දෙකක් තුළ ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති අංශයට භාර දිය යුතු වේ. මේ සඳහා රටේ විරැකියාව නැති කිරීමට බුද්ධි ගලනය ඇති කරමින් මෙරට තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙහි අරමුණ බව සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර යෞවන යෞවනියන් වෙනුවෙන් තවත් ව්‍යාපෘති දෙකක් හඳුන්වා දී තිබේ.

යොවුන් පෙරළිය නමින් හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය තුළින් යෞවන සමාජ වල තරුණ තරුණියන්ගේ කුසලතා වෙනුවෙන් ව්‍යාපෘති හඳුන්වාදීමක් සිදුකර තිබේ.

අපේ ගම ව්‍යාපෘතිය යටතේ යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින් 360 දෙනා සඳහා තම ගම් ප්‍රදේශවල නව ව්‍යාපෘති 360 ක් සඳහා රුපියල් ලක්ෂ 360 ක මුදලක් ප්‍රතිපාදන ලෙස ලබාදීමට ක්‍රියා කර තිබේ.

Rate this item
(0 votes)