April 26, 2024

බස්නාහිර සියලු පාසල් හෙට සිට විවෘතයි

බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (29) ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර පවත්වා ගෙන යෑමේදී ඊට අදාළව නිකුත්කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කිරීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසිල්ලෙන් පසුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සිසුන් පාසල් වෙත යොමු කිරීමට පෙර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දෙමව්පියන් විමසිල්ලෙන් පසුවිය යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව නිසි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් ද හෙට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් අධ්‍යයන කටයුතු සඳහා පසුගිය 15 වැනිදා ආරම්භකර තිබුණි.

සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමත් සමග බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අධ්‍යයන කටයුතු වෙනුවෙන් හෙට ආරම්භ කිරීමට තීරණය විය.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ නොවන අතර අප්‍රේල් මස 05 වනදා ඒවා ආරම්භ කරන බව කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුණු ඩයස් පියතුමන් සඳහන් කළේය.

Rate this item
(0 votes)