April 27, 2024

අවස්ථාවාදී හිස වෙනුවට ජවිපෙ කදට බෞද්ධ හිසක් සවි කළහොත් ගොඩ යන්න පුළුවන් - විමල් පාර්ශවයෙන් යෝජනාවක්

විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කදට බෞද්ධ අධ්‍යාත්මය සහිත හිසක් සවි කළහොත් නැවතත් රටට ආදර්ශමත් ජනතා විමුක්ති පෙරමුණත් දායාද කොට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බව යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණට යළි ගොඩ ඒමට නම් කළ යුතු දේ පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කරයි.

එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දෙන ගුණසේකර මහතා මාක්ස්වාදය හා බෞද්ධ දර්ශනය අතර පවතින්නාවූ පරස්පරතා හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට ජාතිකවාදී පක්ෂයක් ලෙස ජනතාව අතරට පැමිණීම අපහසු බව ද සඳහන් කරයි.

අපහසුවෙන් වුවත් ජනතා විමුක්ති පෙරමුණ තුළ පරිවර්තනයක් සිදු වී ජනතාවාදී පක්ෂයක් ලෙස ජනතාව අතරට පැමිණියහොත් පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාට ආදරය කරන මානව හිතවාදී මිනිසුන් යළිත් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණයේ මාවතට ඔසවා තබන බව ගුණසේකර මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායකයාද වන ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජවිපෙ පිළිබඳව සාමාන්‍ය ජනයා තුළ ධනාත්මක අදහසක් තිබූ බවත් එය පාදක කරගනිමින් 2001, 2004, 2010 මහ මැතිවරණවලදී ක්‍රමානුකූල වර්ධනය වන බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ යුක්ති ගරුක,රට දැයට ආදරය කරන,අහංකාර නැති,හොරා කෑම ගසා කෑම නැති පක්ෂයක් ලෙස ජනතාව තුළ ගොඩනැඟී තිබූ ප්‍රතිරූපය වත්මන් නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එදා රට හදන සහ රට ගොඩනගන වගකීමේ කොටස්කරුවන් වූ ජනතා විමුක්ති පෙරමුණ එදා ජනතාව ලබාදුන් ජනවරමට පිටුපා ජාතිකවාදයෙන් බැහැරව බලලෝභී බළල් අත් සමග එකතු වීමට නූතන නායකත්වය කටයුතු කිරීම නිසා ජනතාව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පරාජය මාවත පෙන්වා දී ඇති බවද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)