April 27, 2024

157 වැනි පොලිස් විරු සමරුව අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 157 වැනි විරු සමරුව අද (21) දිනයේ දී යෙදී තිබුණු අතර අද පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති පොලිස් විරු ස්මාරකය අබියසදී විශේෂ සමරු උළෙලක්ද පැවැත්වීමට කටයුතු කර තිබුණි.

ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සේවය කළ ඔවුන්ගේ හෙට දිනය සුරක්ෂිත කිරීම සඳහා කැප වූ තමන්ගේ අද දිනය කැප කළ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා පොලිස් සේවයේ විරුවන් අද මෙලෙස ස්මරණය කිරීමට කටයුතු කර තිබුණි.

මේ පිළිබඳව ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ ප්‍රථමවරට පොලිස් නිලධාරියෙකු මිය ගියේ 1864 වර්ෂයේ මාර්තු මාසයේ 21 වැනිදා බවයි. 

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාවනැල්ල ප්‍රදේශයේ දී සරදියෙල්ගේ සගයා වූ මම්මලේ මරික්කාර් විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් ප්‍රථම පොලිස් නිලධාරියා මිය ගිය බවත් මෙලෙස මිය ගියේ කොස්තාපල්වරයෙකු වු සබාන් නැමැති නිලධාරියා බවයි. 

මෙම නිලධාරියා මිය ගිය දිනය මාර්තු මස 21 වැනිදා බැවින් එදා මෙදා කාලය තුළ රාජකාරිය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් 3137 (තුන්දහස් එකසිය තිස් හත් දෙනෙක්) සාහසිකයින්, ත්‍රස්තවාදීන්, අපරාධකරුවන් අතින් මිය ගොස් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම 30 වසර යුද්ධය පැවැති සමයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතින් පොලිස් නිලධාරීන් 2594 (දෙදහස් පන්සිය අනූ හතර දෙනෙක්) මිය ගොස් ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අතර කාන්තා නිලධාරිනියන් 11 දෙනෙකුද වන බවද සඳහන් වෙයි.

එහිදී නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ මේ සියලු නිලධාරීන් සිය ජීවිත පරිත්‍යාග කර තිබෙන්නේ රටේ ජනතාවගේ හෙට දිනය සුරක්ෂිත කිරීම සඳහා බවයි.

Rate this item
(0 votes)