April 26, 2024

සීනි බදු වංචාවේ මුදලින් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 15ක් ගන්න තිබුණා

මේ වන විට හෙළිදරව් වී තිබෙන පරිදි සීනි බදු වංචාවක් සිදු නොවූයේ නම් එම බදු මුදලින් කොවිඩ් එන්නත් මිලියන 15ක් මෙරටට ගෙන ඒමට හැකියාව තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී පැවති ”Sorry කවුද දිනුම්” සම්මන්ත්‍රණයේදීය.

කෙසේවෙතත් සිදුව ඇත්තේ බදු වංචා කර ගජමිතුරන් අතර බෙදා ගැනීම බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.

2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලය තුළ රු. 50ක්ව පැවති සීනි බදු ශත 25ක් දක්වා අඩු කිරීමෙන් රු. කෝටි 1590ක් වංචා අකර තිබෙන බවත් එය මෙතෙක් ඉතිහාසයේ සිදු වූ විශාලම වංචාව බවද හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

”මේ ආණ්ඩුව බලයට ආවේ මහ බැංකුව මංකොල්ල කාලා කෝටි 1100ක වංචාවක් සිදු වුණා ඒක අල්ලනවා කියල. හැබැයි දැන් මේ ගොල්ලෝ රටේ ජනතාවට සීනි ගෙන එකෙනුත් කෝටි 1590ක් හොරකම් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙදී හෙළිදරව් වෙනවා මේ ආණ්ඩුව යටතේ තමයි ඒ මුදල් වංචාව සිද්ධ වෙලා තියෙන්නේ කියල. මහ බැංකුව මංකොල්ලකන වෙලාවේ රනිල් වික්‍රමසිංහලා අපි හෙළිදරව් කරන කොට එදා විපක්ෂයේ හිටපු මේ ගොල්ලෝ කෑ මොර දුන්නා මේක තමයි ඉතිහාසයේ දැවැන්තම මංකොල්ලය හොරකම කියල. මේගොල්ලෝ බලයට ආවම අල්ලනවා කියල.

බලයට ඇවිල්ල ඒක ඇල්ලුවෙත් නැහැ. ඒගොල්ලෝ එක්ක යටින් ඩීල් ගෙන හංගගෙන ඉන්නවා. දැන් මේ ඉතිහාසයේ ලොකුම වංචාව වෙලා තියෙන්නේ. මොකක්ද? එදා මහ බැංකුවේ මංකොල්ලය කෝටි 1100ක් නම් දැන් මේක කෝටි 1590යි. ඔක්තෝම්බර් මාසේ 13 වැනිදා සීනි වලට තිබ්බ බද්ද රු.50 ඉඳලා ශත 25 දක්වා අඩු කරනවා. ඒ අඩුකරන කාලය අතරතුර ලංකාවට මේ ජාවාරම්කාරයෝ ඇතුළු පිරිස සීනි ගෙනල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 73,000ක්. ලබා ගත්ත ලාභය දැන් හෙළිදරව් වෙලා තියෙනවා රු.කෝටි 1590ක්. හැබැයි ආණ්ඩුව පහුගිය දවස්වල කොරෝනා එන්නත් ගන්න කියල ලෝක බැංකුවට ගියා මිලියන 1000ක් හොයා ගෙන.

මේ සීනි ගණුදෙනුව හොරකම සිද්ධ නොවුනා නම් කෝටි 1590ක් රජයට ඉතිරි වෙනවා. ලංකාවට කොරෝනා ඉන්ජෙක්ෂන් එකට යන ගාන ඩොලර් 5 ගානේ ගණන් බැලුවත් මිලියන 15ක් ගේන්න පුළුවන් එන්නත්. ඒ ගන්න බදු මුදල් තමන්ගේ ගජ මිතුරෝ අතරේ බදු වංචා කරලා හොරකම් කරගෙන බෙදා ගන්න ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂගේ ෆේල් වීමක් නෙවෙයි ඒක මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නේ.” යැයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියි.

Rate this item
(0 votes)