May 09, 2024

ලංකාවේ වාෂ්ප දුම්රියේ ගමන්ගත් රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයාට මල පනී

කොළඹ කොටුව සිට නානුඔය දක්වා ධාවනය වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ඊයේ 11 වනදා කාර්මික දෝෂයකට ලක්වී පැය දෙකකට අධික කාලයක් ප‍්‍රමාද වීමෙන් එහි ගමන් ගත් රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද දැඩි අපහසුතාවට පත් වූහ.

රුසියාවෙන් මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින එරට දෙවැනි කෝටිපති ව්‍යාපාරියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෞද්ගලික ආරක්ෂක අංශයේ අටදෙනකු ද සංචාරක මණ්ඩලයේ අනුමැතියෙන් යුතු වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රියේ 10 වැනිදා කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ගෙවා එම දුම්රිය වෙන් කරගෙන ඇත.

එම වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රිය 10 වැනිදා නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල් කර ඊයේ නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ වාෂ්ප එන්ජිම කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

මේ සම්බන්ධයෙන් රුසියානු කෝටිපති ව්‍යාපාරිකයා දැඩි ලෙස උරණ වී කෑකෝ ගසන්නට වූයෙන් කාර්මික දෝෂයකට ලක් වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ගලවා ඉවත් කර ඞීසල් එන්ජිමක ආධාරයෙන් රුසියානු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිස රැගත් වයිස්රෝයි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ මෙම වයිස්රෝයි දුම්රිය දිනපතා ධාවනය නොවන බැවින් මෙවැනි කාර්මික දෝෂයන්ට ලක්විය හැකි බවය. මෙම සේවාවේ වෙන් කිරීම් පෞද්ගලික සමාගමක් විසින් සිදු කෙරෙන බවත් එහි ගමන් ගන්නා මගීන් කවුරුන්ද යන වග තමන් නොදන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)