April 26, 2024

බස්නාහිර හැර සියලු පාසල් 15 වනදා සිට විවෘතයි

දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරු ව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දිවයිනේ සියලු ම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරලා ඉවරයි. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලා තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව හැකි දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. එය තව දින දෙකකින් එනම් මාර්තු 10වන දින අවසන් වෙනවා. මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් මේ විභාගයට පෙනී සිටිනවා. ඉතා ම සාර්ථක ව අ.පො.ස උසස් පෙළ විභාගය, 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ත් මේ විදියට ම පවත්වා අවසන් කරන්නට අපට හැකි වුණා. මේ පිළිබඳ සෘනාත්මක සහ අසුබවාදී අදහස් ප්‍රකාශ කරන අයට අපි සවන් දුන්නා නම් මේ විභාගය පවත්වන්නට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වුණු දේ සහ බලාපොරොත්තු වන දේ නිවැරදිව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා. රජය මේ අසීරු මොහොතේත් දැඩි තීරණ ගත්තේ අපේ දරු දැරියන්ගේ අනාගතය පිළිබඳ සලකා බලලා. මේ අසීරුතාවයන් මැද්දේ අපේ සහ රටේ අනාගතය වෙනුවෙන් අපේ නිලධාරීන්‍ සහ සියලු දෙනාගේ සහයෝගය ඇතිව කටයුතු කරන්නට අපට හැකියාව ලැබුණා.

විභාගය පවත්වාගෙන යන කාලය තුළ එනම් දවස් 09ක් ආසාධිත දරුවන් 56ක් පෙනී සිටියා. ඒ දරුවන් විශේෂ මධ්‍යස්ථාවවලට යොමු කරන්නට අපිට හැකි වුණා. එවැනි මධ්‍යස්ථාන 40ක් රට පුරා පිහිටුවලා තිබුණා. සෑම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයක් සූදානම් කරලත් තිබුණා. නිරෝධායනයට ලක්වුණු සිසුන් 321ක් විභාගයට පෙනී සිටියා. අපි රජයක් විදියට සහ අමාත්‍යංශය විදියට දුර දිග බලලා මේ සියල්ල ඉතා සාර්ථක ව සැලසුම් කළ බව කියන්නට කැමතියි. ප්‍රථම දවස් තුනේ උත්තර පත්‍ර ඇගයීමට දැනුත් සූදානමින් සිටින්නේ. මේ සියල්ල කරන්නේ විභාග ප්‍රතිඵල ‘ජුනි’ මාසයේ ලබා දීමට සහ අ.පො.ස උසස් පෙළ පන්ති ‘ජූලි’ මාසයේ අරම්භ කිරීමට”. යනුවෙන් ද පැවසී ය.

Rate this item
(0 votes)