April 27, 2024

"මේ තරම් ඉක්මනට ජනගත කළ වාර්තාවක් තවත් නෑ" - ඇමති ගම්මන්පිල

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ වූ ජනපති කොමිෂන් වාර්තාව තරම් වේගයෙන් ජනගත කළ ජනපති කොමිෂන් වාර්තාවක් පිළිබඳව තමා දන්නා ඉතිහාසයේ අසා නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පෙබරවාරි 1 වනදා ජනපතිට ලැබුණු වාර්තාව මාර්තු 01 වැනිදා වන විට අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කොට තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සෞභාග්‍යය නිෂ්පාදන ගම්මාන වැඩසටහනට එක්වෙමිනි.

මෙම වාර්තාවේ කොටස් කුඩා කොටස් ලෙස සකසා ඉදිරිපත් කිරීම පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වාර්තාවේ අපරාධය පිළිබඳව මෙන්ම බුද්ධි අංශ පිළිබඳ තොරතුරු තිබෙන බවත් එම බුද්ධි අංශ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම තවත් මිලේනියම් සිටි සිද්ධියකට මගපාදන බවයි.

මෙරට බුද්ධි අංශ වෙත දේශීය මෙන්ම විදේශීය බුද්ධි අංශද තොරතුරු සපයන බවත් ඒවා හෙළිදරව් කිරීමෙන් එම තොරතුරු සපයන්නන් හෙළිදරව් කොට මිලේනියම් සිටි 2 කට මග හෙළි පෙහෙළි කර දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කොමිසම ඉදිරියේ රහසිගතව සාක්ෂි දුන් ඇතැම් සාක්ෂි කරුවන් තමන්ගේ රහසභාවය කොමිසම විසින් රකිනු ඇති බවට විශ්වාසයක් තිබූ බවද සදහන් කරන අමාත්‍යවරයා මෙම කොමිසම් වාර්තාවේ එම විශ්වාසය රැක තිබෙන බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 16:31