April 26, 2024

"මේ පාර්ලිමේන්තුව දියවන්නා පාර්ලිමේන්තුවේ ප්‍රතිනිර්මාණයක් නොවිය යුතුයි" - නාමල් තරුණ පාර්ලිමේන්තු අමතමින් කියයි

බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වූ දිනය සමරනවා හැරෙන්නට අපි ආර්ථික, සමාජයීය හා දේශපාලන වශයෙන් නිදහස් වී ඇත්දැයි යන ප්‍රශ්නය අප සැමගේම මනසේ තිබෙන බව අවංකවම පිළිගත යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අපි අධ්‍යාපන ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කළ ද ජාත්‍යන්තරයට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තිබෙනවාද යන්න ප්‍රශ්නයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නිදහස ලැබූ දින සිට මේ දක්වා ආයෝජනය කළ රුපියල් බිලියන ගණනක මුදල, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ ප්‍රතිලාභ මේ රටේ අනාගත පරම්පරාවට සැබැවින්ම භුක්ති විදීමට හැකිද යන ප්‍රශ්නයද අප හමුවේ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ නිසා තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සතු වැදගත්ම වගකීම වන්නේ මේ රටේ තරුණ විප්ලවය නිර්මාණය කිරීම බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ හරහා නූතන මානසිකත්වය සතු තරුණ පරම්පරාවක් බිහි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවතින දේශපාලන රටාව තුළ එය අභියෝගයක් වන බවද සඳහන් කරයි.

තරුණ පාර්ලිමේන්තුව හරහා යෝජනා 360 ක්‍රියාත්මක වන විට එය රටේ ඉදිරි සංවර්ධනයට රුකුලක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මැද පෙරදිග සේවයට යන ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව ගැන රටේ කතිකාවතක් ගොඩනැගී තිබෙන මොහොතක ඊට විකල්පයක් තරුණ පිරිස හැටියට ඔබ යෝජනා නොකරන්නේ නම් ඔබ බලාපොරොත්තු වන ඒ අනාගත ලෝකය සොයා ගැනීමට නොහැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නූතන තරුණයා තමාගේ අයිතිය මෙන්ම තමා සතු සමාජ වගකීම පිළිබඳවද කතා කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා තරුණ පාලිමේන්තුව දියවන්නා පාර්ලිමේන්තුවේ ප්‍රතිනිර්මාණයක් නොවිය යුතු බව ද ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 12:18