April 27, 2024

කොරෝනා අර්බුදය මැද ලංකාවට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා

February 25, 2021

කොරෝනා වෛරස් අර්බුදය හේතුවෙන් ලෝක නායකයෝ වෙනත් රටවලට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සඳහා සංචාර කිරීම සීමා කර තිබේ. ඇමෙරිකාවේ ජනාධීපතිවරයා වන ජෝ බයිඩන් ද සිය පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව සිදු කරන ලද්දේ සිය අසල්වාසී රට වන කැනඩාවේ අග්‍රාමාතවරයා සමඟ අන්තර්ජාල සම්බන්ධතා හරහාය.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති නොබිඳුණු රාජ්‍ය මිත්‍රත්වය විදහා පාමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වන ඉම්රාන් ඛාන් මෙරටට පැමිණියේය.

මෙම පැමිණිමත් සමඟ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත හිමි වූ අතර විශේෂයෙන්ම ඉන්දියාව මෙම පැමිණීම පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය.

කොරෝනා වසංගතය ලෝකය තුළ ව්‍යාප්තව ඇති අවස්ථාවක ලෝකයේ සංචාරක කර්මාන්තයන් බිඳ වැටී අවස්ථාවක ශ්‍රී ලංකාවට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම මෙරට ලද සුවිශේෂී ජයග්‍රහණයකි. 

එතුමන්ගේ පැමිණීම තුළින් ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය තුළ මෙරට පැමිණෙන පිරිස් හට ලබාදෙන ආරක්ෂාව මෙන්ම වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද ජාත්‍යන්තරයට ධනාත්මක හැඟීමක් ඇති කිරීමට සමත් වන බව නොඅනුමානය.

මෙම වසරේ ජනාවරි මාසයේ දී ඕස්ට්‍රේලියානු සමාජ විශ්ලේෂක අධ්‍යයනය ආයතනයක් වන “Lowy Institute (ලෝවි අධ්‍යනය ආයතනය)” විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල්වල වාර්තාවන කොරෝනා රෝගීන් ප්‍රමාණය, මරණ සංඛ්‍යාව, මිලියනයක් අතර ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය, මිලියනයක් පිරිස අතර කොරෝනා මරණ ප්‍රමාණය, කොරෝනා හඳුනා ගැනීම සඳහා කරන පරික්ෂණ ප්‍රමාණය වැනි දත්ත විශ්ලේෂණය කරමින් සහ රටවල් පිහිටි කලාපයන්, දේශපාලන ස්ථාවරත්වය, ජනගහනය, ආර්ථික සංවර්ධනය වැනි කරුණු මත පදනම්ව ලෝකයේ කොරෝනා වෛරස් පාලනය කළ රටවල් අතර 10 වෙනි තැන ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබුණි.

පාකිස්ථාන අග්‍රාමාත්‍යරයාගේ පැමිණීම මෙම වාර්තාවන්වල සත්‍යයතාවය තහවුරු කළ හැකි තවත් හොඳ සාධකයක් බවට පත්විය.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසය පුරාවට ඉතාමත් ළඟ මිත්‍රත්වයක් පැවැති අතර මෙරට 30 වසර යුද සමයේ ද මෙරට හමුදාවන්ට අවශ්‍ය සහය ලබා දීමටද පාකිස්ථානය කටයුතු කළේය.

මෙම සංචාරය තුළදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව වෙත දේශපාලිනක සහයෝගීතාවයෙන් එහාට ගොස් අධ්‍යාත්මික මෙන්ම ආගමික සහජීවනය ද ඉහළ නංවා ගැනීම සඳහා ආරාධනාවක් කළේ පාකිස්ථානය ඇති ලෝක බෞද්ධ උරුමයන් නැරඹීම සඳහා එරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාවට ආරාධනා කරමිනි.

30 වසරක යුද්ධයකින් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන සංවර්ධනය පිළිබඳවද පාකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. වෙළෙඳාම සහ ආයෝජනය ඇතුළු ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කරගැනීමේ දෙරටට තවදුරටත් සමීප විය හැකි බවත් හෙතෙම කීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 15:51