May 15, 2024

මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ

February 06, 2021

ඇති වී තිබෙන විදෙස් මුදල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරටට ඉන්ධන ආනයන බිල මාස 11ක් තිස්සේ ගෙවා නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !

සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.

2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්‍රියාකිරීමයි.

මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.

විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.

රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.

Rate this item
(0 votes)