May 21, 2024

එන්නතක් ලබා දුන් විගස ලෙඩ හොඳ වෙනවාද? - මේ ඔබ කියවිය යුතුම ලිපියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් ඔක්ස්වර් - ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිශිල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් හිමි වූ අතර එය පසුගිය 29 වැනිදා සිට මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂ අංශයන් වෙත ලබා දීම සිදුකරනු ලැබීය.

මෙම එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟ සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පිළිබඳව විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. ප්‍රතිශක්තිකරණ එන්නතකින් රෝගයක් සුව වෙයිද? එන්නත ලබාගත් පසු කළ නොකළ යුතු දේවල් ඇතුළු බොහෝ දේවල් පිළිබඳව විවිධ අය අතර කතාබහක් නිර්මාණ වී තිබේ.

එවන් අවස්ථාවක ඒෂියන් මිරර් අප විසින් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට කටයුතු කළෙමු.

කරාපිටිය කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ඒකකයේ වෛද්‍ය රංගන චන්දිමාල් මහතා අප සම්බන්ධ කරගත් අතර ඒ මහතා විසින් බොහෝ දෙනාට එන්නත් කිරීම පිළිඳව ඇතිව තිබෙන පොදු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු පැහැදිළි කර දුන්නේ පහත ලෙසිනි.

එන්නතක් යනු, මිනිසාට විවිධාකාර රෝගාබාධ වලින් ආරක්ෂා වීමට ඇති හොඳම අවියක් වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැතහොත් Immunity System එක ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. 1. සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Innate Immunity System),  2. නිරාවරණය නිසා අත්පත් කර ගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Aquried Immunity System)

එමෙන්ම එන්නතක් යනු යම් කිසි ආසාධිත රෝගයකට විරුද්ධව සටන් කිරීම උදෙසා නිරාවරණය නිසා අත්පත් කර ගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ලබා දෙන ජෛව සංයෝජකයකි

බ්‍රිතාන්‍ය ජාතික විද්‍යඥ එඩ්වඩ් ජෙනර් එන්නත් කිරීම යන සංකල්පය ලොවට හදුන්වා දුන් පුද්ගලයා බවට පත් වුනේ 1796 දි වසුරියට එරෙහිව ඔහු විසින් නිපදවූ එන්නතක් දහතුන් හැවිරිදි දරුවකුට ලබා දිමත් සමගය.ඔහුට අමතරව ලුවී පාස්චර්,ඇලෙක්සැන්ඩර් ග්ලෙනි වැනි විදෘඥයන්ගේ කැපවීම මත වැඩි දියුණු වුන එන්නත් හේතුවෙන් වසූරිය (Smallpox), පෝලියෝ (Polio), සරම්ප (Measles) වැනි පසුගිය ශතවර්ෂය තුලදි ලෝක සෞඛ්‍යයට අභියෝගයක් එල්ල කල  ආසාදන රෝග සම්පුර්ණයෙන්ම වගේ යටපත් කර ගැනිමට හැකියාව ලැබී ඇත.

එන්නතකින් ප්‍රධාන වශයෙන් සිදු වනුයේ යම්කිසි රෝගකාරකයකට එරෙහිව අපගේ ශරිරය ප්‍රතිශක්තිකරණය ඇති කිරීමයි.

එන්නතක් ලබා දීමට පොරොත්තුව එය  රෝගකාරකයට එරෙහිව කොතරම් සාර්ථක දැයි අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය.

එන්නත් කාර්යක්ෂමතාව (Vaccine Efficacy) සහ එන්නත් ඵලදායිතාව (Vaccine Effectiveness) මගින් එන්නතක සාර්ථකත්වය ගැන මනා අවබෝධයක් ලබා ගත හැක.

එන්නත් කාර්යක්ෂමතාව යනු  එකම පාලිත තත්වයක සිටින එක හා සමාන පුද්ගල  කණ්ඩායම් දෙකක් අතරින් එක කණ්ඩායමකට එන්නත ලබා දුන් විට එන්නත ලබා නොදුන් කාණ්ඩයට සාපෙක්ෂව ඔවුන්ට රෝගය වැලදිමට ඇති ඉඩකඩ නැති වීමේ ප්‍රතිශතයයි .උදාහරණයක් ලෙස Pfizer-BioNTech එන්නතේ මෙම ප්‍රතිශතය 95% කි.

එනම් සියය බැගින් සිටින පුද්ගල කණ්ඩායම් දෙකක් අතරින් එක කණ්ඩායමකට Pfizer (ෆයිසර්) එන්නත ලබා දුන් විට එම කණ්ඩායමේ 95 දෙනෙකුටම කොරෝනා ආසාදනය විම වලක්වා ගත හැක..පහත දැක්වෙනුයේ දැනට නිපදවා ඇති කොරෝනා එන්නත් කිහිපයක ආසන්න කාර්යක්ෂම ප්‍රතිශතයි.

ඇමෙරිකාවේ (මොඩර්නා) Moderna 94.1%

බ්‍රිතාන්‍යයේ (ඔක්ස්වර් - ඇස්ට්‍රාසෙනෙකා) Oxford-AstraZeneca 62-90%

රුසියාවේ (ගමලේයා) Gamaleya 91%

 චීනයේ (සිනෝපාම්) Sinopharm 80%

(සැ.යු මෙම අගයන් කාලයත් සමග යාවත්කාලීන විය හැක)

එන්නතක අන්තර්ගත වනුයේ  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සක්‍රිය ජෛව සංයෝගය(Active ingredient) පමණක් නොවේ. එහි ප්‍රධානම සංඝටකය ජලයයි. එයට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඇලුමිනියම් ලවණ, සංඝටක එකට බැද තබා ගන්නා සෝබිටෝල්(Sorbitol) පොලිසෝබේට් 80(Polysorbate 80) වැනි අතිරේක සංඝටක (Added Ingredient) එන්නතක අන්තර්ගත වේ. කොරෝනා වෛරසයට ලබා දෙන ඔක්වර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford-AstraZeneca) එන්නතේද මෙවැනි සංඝටක අන්තර්ගතය. සමහර අවස්ථාවලදි සමහර පුද්ගලයන්ට ඉහත කී සංඝටක නිසා අසාත්මිකතා ඇති වීමේ අවදානමක් ඇති බැවින් පෙර අසාත්මිකතාවයක් ඇතිවු  පුද්ගලයන් එන්නත් ලබා ගැනීමේදි සැලකිලිමත් විය යුතුය.

යම් කිසි රෝග කාරකයට අදාලව එන්නක් ලබා ගත් පසු අදාල රෝග කාරකයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ගොඩ නැගීම සාධක කිහිපයක් මත රඳා පවති. වයස,ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන නිදන්ගත රෝග. (උදා දියවැඩියාව) ආහාර සහ ජීවන රටාව, මත්පැන් දුම්වැටි භාවිතය ඉන් කිහිපයකි. ඉහත කී සාධක පැවතියහොත් එන්නතෙන් බලාපොරොත්තු වන තරම් ප්‍රතිශක්තිකරණයක් ඇති කිරිමට නොහැකි වීම නිසා එවැනි අවස්ථාවක එන්නත ලබා ගත්තත් නැවත රෝගය වැලදීමේ ඉඩකඩක් ඇත. එසේම එන්නතෙන් ඉලක්ක කරන රෝගකාරකයේ ජාන විකෘතිවීම් (Genetic mutations) සිදුවීම නිසා එහි ව්‍යුහය (Structure changes) වෙනස් වීමක් සිදුවීම නිසාද එන්නත ලබා ගත්තත් නැවත අදාල රෝගකාරකයට අප ගොදුරු විය හැක. (ඉන්ෆුවෙන්සා එන්නත නිතරම යාවත්කාලීන කරනුයේ මේ හේතුව නි⁣සාය)

සැ.යු නව්‍ය කොරෝනා වෛරසය හෙවත් SARS CoV-2   වෛරසයේද ජාන වෙනස් වීම් නිසා නව ප්‍රභේද කිහිපයක් ඇති වුවත් තවමත් එහි බාහිර ව්‍යුහය වෙනස් වී නොමැත.

එන්නත ලබා ගත්තද අප කලින් පැවති සෞඛ්‍ය පුරුදු අත් නොහැර දිගටම පිලිපැදිම ඉතා වැදගත්ය. මන්ද එන්නත ලබා ගත් පසුව අප තුළ ප්‍රතිශක්තිය ගොඩ නැගුනත් අප කොරෝනා වයිරසය අඩංගු ශ්වසන අංශු (Respiratory droplets) එක් තැනක සිට තවත් තැනකට රැගෙන යන වාහකයන් වීමේ අවධානමක් ඇති බැවිනි. එසේම එන්නත ලබා ගැනිමෙන් පසුව හැකිතාක් කාලයක් මත්පැන් දුම්වැටි භාවිතයද නවතා දැමිය යුතුය. එන්නත ලබා ගත් පසු මද උණ ගතිය, ඇඟ පත අපහසුතා හිසරදය ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එයින් ගම්‍ය වන්නේ අප ශරීරය එන්නතට අදාල ප්‍රතිශක්තිකරණය ගොඩ නගා ගනිමින් සිටින බවය. එවැනි අවස්ථාවක වේදනා නාශක ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් නැතත් හැකිතාක් එවැනි ඖෂධ ලබා ගැනිමෙන් වැලකි සිටිම නුවණට හුරුය. සැලකිය යුතු අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමු විමද ඉතා වැදගත්ය.

අවශ්යම මොහොක පැරසිටමෝල් පමණක් භාවිතා කරන්න

Rate this item
(5 votes)
Last modified on Sunday, 31 January 2021 08:54