May 18, 2024

තිස්ස පිළිතුරු දෙයි.. මේවා මඩ - දියණියට පත්වීම දුන්නේ යහපාලනයෙන්, සුදුසුකම් මතයි

තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාලන රජය සමයේ ඇගේ සුදුසුකම් මත ලබා දුන් බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනායක මහතා සඳහන් කළේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හදාරා සුදුසුකම් ලබා තිබෙන සිය දියණියට යහපාලන ආණ්ඩු සමයේ ලබාදුන් එම පත්වීම ජනාධිපතිවරණ නීති රීති මත කල් ගිය බවය.

එම නිසා මෙම පත්වීම මේ ආණ්ඩුව ලබා දුන් නව පත් වීමක් නොවන බව පෙන්වා දෙන අත්තනායක මහතා තමාට මඩ ගැසීම සඳහා මෙවන් ප්‍රචාර ගෙන යන බවද පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය දියණියගේ නව පත්වීමට සුභ පැතු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

යහපාලන රජය සමයේ ලබාදුන් එම පත්වීමට අදාල ලිපියේ පිටපතක්ද අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත එවා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 15:23