April 27, 2024

"යූඇන්පිය අපට ඇමතිකම් 13ක් දීලා හොඳට සැලකුවා - ශ්‍රීලනිපය විනාස කරන්න වැඩ කළේ නෑ" - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනය තුළ සිටිද්දීවත් ශ්‍රීලනිපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

ශ්‍රීලනිප එක්සත් ජාතික පක්ෂයේ මුල් වී ගොඩනැගූ යහපාලන ආණ්ඩුවට ගියේ ඔවුන් ජයග්‍රහණය කරවන්නවත් සහයෝගයක් නොදී ඔවුන්ට එරෙහිව ඡන්දය ඉල්ලීමෙන් පසුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීමට බවද මතක් කර දෙන මහ ලේකම්වරයා එජාපය ඉහළ මට්ටමේ කැබිනට් ඇමතිධුර 13ක් මෙන්ම මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම ලබාදුන් බව සඳහන් කරයි.

ඒ නිසා යහපාලන ආණ්ඩුව තුල ශ්‍රීලනිපයට සිය ශක්තිය ගොඩනගා ගැනීම සඳහා සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණු බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු මේ කරුණු හෙළිදරව් කළේ වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ ශ්‍රීලනිපයට සලකන කුඩම්මාගේ සැලකිල්ල හා සංසන්දනය කරමිනි.

ආණ්ඩුකාරවරුන්, සභාපතිවරුන්, ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී මෙන්ම පළාත් පාලන මට්ටමින් සිටින ශ්‍රීලනිප මහජන නියෝජිතයින්ට ප්‍රතිපාදන ලබා දීමේදී පවා ඔවුන් හුදකලා කර තිබෙන බවට මහලේකම්වරයා චෝදනා කරයි.

මෙම චෝදනාවන් කෙඳිරියක් සේ නො සලකන ලෙස අනතුරු හැඟවීමක් කරන මහ ලේකම්වරයා එය දැන් මහා විරෝධයක් දක්වා වර්ධනය වී ඇති බව ද පෙන්වා දෙයි.

ශ්‍රීලනිප මහ ලේකම් වරයා ඒ අදහස් පළ කර තිබුණේ සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2021 11:33