April 27, 2024

ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමැති සරත්ගෙන් දැඩි තීන්දුවක් ගනී - ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ බැහැ

‘‘​පොලිසිය කියන්නේ ගෞරවාන්විත සේවයක්. ප්‍රභූ ආරක්ෂාව කියලා රාජකාරියට ගිහිල්ලා ප්‍රභූන්ගේ පෞද්ගලික රාජකාරි කරන එක පොලිස් නිලධාරීන්ට උචිත නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නව පොලිස් ස්ථාන හා පොලිස් පුරප්පාඩු පිළිබඳ අමාත්‍යංශ ලේකම් පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති රැස්වීමේදීය.

පොලිස් සේවය සඳහා මේ වන විට කරන ලද පර්‌යේෂණය අනුව 116520 (එක්ලක්ෂ දහසය දහස් පන්සිය විස්ස) ක අවශ්‍යතාවක් පවතින අතර 11369 ක පුරප්පාඩු මේ වන විට පවතින බව එහිදී අමාත්‍යවරයාට පොලිස් නිලධාරීන් පෙන්වා දී තිබේ.

අමාත්‍යවරයා ප්‍රශ්න කළේ මෙම පර්‌යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන ලද්දේද යන්නයි. පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ ජනගහනය, භූමි ප්‍රදේශය, ග්‍රාමසේවා වසම් යන කරුණු පදනම් කරගෙන මෙම පර්‌යේෂණය ඉටු කළ බවයි.

එසේම පොලිස් නිලධාරීන්ගේ හිඟය මූලික වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති අතර වසරකට දෙදහස් පන්සියයක් පමණ පුහුණු කළ හැකි බව නිලධාරීන් විසින් දැනුම් දී තිබේ.

එසේම වසරකට ඉතා විශාල පිරිසක් විශ්‍රාම යන බවත් මෙනිසා අදාළ ඉලක්කය සපුරා ගැනීමේ ගැටලුවක් ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ප්‍රභූ ආරක්ෂකයන් පමණක් ඉතුරු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එම දිස්ත්‍රික්කවල ජීවත් වන නන්දිමිත්‍ර බළකායේ සෙබළුන් පොදු ස්ථාන සඳහා යොදවන බවය. එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම පිහිටි නන්දිමිත්‍ර බළකා කඳවුර සහ වෙනත් කඳවුරු කිහිපයක් සඳහන් කරමින් ඔහු පැවැසුයේ පුහුණුවීම් ප්‍රමාණය වැඩි කර අවම වශයෙන් වසරකට 3500 ක ඉලක්කයවත් සම්පූර්ණ කර නව බඳවා ගැනීම් කළ යුතු බවය.

Rate this item
(1 Vote)