April 26, 2024

"සබීතාපාය" ගත්ත හැටි ගැන කෝප් විමර්ශනයක් අරඹයි

යහපාලන රජය සමයේ මතභේදයට තුඩුදුන් රාජගිරියේ පිහිටි D.A.P. ජයසිංහ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත් ආකාරය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විධිමත් පරීක්ෂණයක් කිරීමට තීරණය කොට තිබේ.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් රාජ්‍ය මුදල් වැය කරමින් මසකට ලක්ෂ 226 ක කුලියට ගත් මෙම ගොඩනැගිල්ල පිළිබඳව වත්මන් රජය එදා විපක්ෂයේ සිටිද්දී බරපතළ විවේචන එල්ල කරන ලදී.

වසර පහක් කාලෙකට කුලියට ගෙන තිබුණු මෙම ගොඩනැගිල්ලේ පළමු වසර දෙක සඳහා මසකට රුපියල් ලක්ෂ 226 බැගින් වූ කුලියකටද ඉන්පසු එය රුපියල් ලක්ෂ 240 ක මාසික කුලියක් දක්වා වැඩි කරන ලදී.

එවකට කෘෂිකර්ම අමාත්‍යය ධූරය දරන ලද්දේ වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දුමින්ද දිසානායක මහතා වන අතර ඔහුටද මේ ගනුදෙනුව පුද්ගලික හිතවත්කම් මත කළ බවට එම අවධියේදී චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ අමාත්‍යංශ ලේකම් සුමේධ පෙරේරා මහතා කෝප් සභාවට දැනුම් දී තිබේ.

කෝප් කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 12:05