April 26, 2024

අද රට පාලනය කරන්නේ රාජපක්ෂලා නෙවෙයි ජාවාරම්කාර කල්ලියක්

මේ වන විට රට පාලනය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා නොවන අතර එය මංකොල්ලකාර කල්ලියක් විසින් සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

එය සීනි වංචාවෙන්ම පැහැදිලි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මහ බැංකු වංචාවේ හොරු අල්ලන බව කියා පැමිණි ආණ්ඩුවට හොරුන්ට හොරුයි කියා කියාගැනීමට නොහැකි වී සිටින අවස්ථාවේ සීනි වංචාව ඉලක්කම් සහිතවම පෙන්වා දිය හැකි බව මන්ත්‍රීවරයා කියා සිටියේය. 

ආණ්ඩුව මේ තරම් ඉක්මණින් හොරකම් කිරීමට හේතුව වී ඇත්තේ මාස හතරක් වැනි ඉතා කෙටි කාලයකින් ආණ්ඩුවේ ජනප්‍රියතාව එකපාරම කඩාගෙන වැටීම බව හෙතෙම පෙන්වා දුන්නේය.

''ආණ්ඩුවේ ජනප්‍රියතාව කඩාගෙන වැටීමත් හරහා ආණ්ඩුවේ ගමන එන්න එන්න කෙටි වෙනවා කියලා පේනවා. කෙටිවන ගමන හරහා මේකේ රැළි වැටිච්ච බඩවල් පුරවාගන්න ජාවාරම්කාරයෝ ටික, ආණ්ඩුව ගේන්න දඟලපු උදවිය දැන් හොරකම් කරන්න පටන් අරන් තියෙනවා. දැන් ආණ්ඩුවට එය කළමනාකරණය කරගන්න බැහැ''

ආණ්ඩුව ජාවරම්කරයින්ගේ කර මතින් බලය ලබා ගත් හෙයින් එම ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය සෙල්ලම් කරමින් සිටින බව මන්ත්‍රීවරයා කියාසිටින ලදී. 

අද මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය දේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය දේ නොව වෙනත් කල්ලියකට අවශ්‍ය දේ සිදුවෙමින් පවතින් බව ඔහු සඳහන් කළේය. 

කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය විකිණීමට සැරසෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙස බව කියා සිටි හේෂා විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ පෙර නොවූ විරූ ලෙස නැගෙනහිර ජැටිය බේරාගැනීම වෙනුවෙන් දේශපාලඥයින්ට එහා ගීය දේශප්‍රේමී කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙන බවය. 

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 16:51