April 26, 2024

සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුව අද යළි රැස්වේ

අද (19) සහ හෙට (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට ඊයේ(18) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

කොවිඩ් - 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අද පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලබන බව මහලේකම්වරයා කීවේය. පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

දෙවන දිනය වන හෙට (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය. එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව පැවැත්වෙනු ඇත. එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 09:53