April 26, 2024

කොටස් වලින් 49% කිව්වට ලාභයෙන් 90% අදානිට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදි වන අතර 49%ක් ඉන්දියාවට පැවරෙන බව පැවසුවද සම්පූර්ණ මෙහෙයුම් ඉන්දියාව විසින් කරන තත්ත්වයක ලාභයෙන් 90%කට වැඩි කොටසක් යන්නේ ඉන්දියාවට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය. 

ඒ අනුව 69 ලක්ෂයකට දුන් පොරොන්දු දැන් කඩකරමින් සිටින බව ඔහු කියා සිටියේය. 

''69 ලක්ෂයට ඕන දේ නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. මේ රටේ ආණ්ඩුව කරන්නේ පිටරටවල් වලට මේ ආණ්ඩුව හදන්න දීපු උදව් වලට ප්‍රති උපකාර කිරීම. එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉන්දියාවට අපේ වරාය දෙන්න හදන්නේ. මේ දෙන ක්‍රමවේදය සම්පූර්ණ වැරදි ක්‍රමවේදයක්. සමස්ත ආසියාවේම හොඳම වරාය හැටියට තියෙන්නේ අපේ වරාය. ඉන්දියාවට  49%ක් දෙන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ,ඉන්දියාව සම්පූර්ණයෙන් මේක හසුරුවනවා නම්, ඉන්දියාවේ අය විසින් ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා නම් මෙතනදී අපි දකින්නේ 90%කට වැඩි ලාභයක් ලබන්නේ ඉන්දියාව. මේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදියි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා 69 ලක්ෂයට දුන්න පොරොන්දු ටික හරියට ඉෂ්ට කරන්න. ඒක ඉෂ්ට කරන්න බැරිනම්, ආණ්ඩුවට බැරි නම් කියන්න අපි සූදානම් මේ ආණ්ඩුවට වඩා හොඳින් රට කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න.'' 

එක් පැත්තකින් පරිසරය විනාශ කරමින් පවතින අතර අනෙක් පැත්තෙන් ආර්ථිකය කඩා වැටෙද්දී  ඒත් එක්කම ජාතික සම්පත් පිටරටවලට විකුණමින් සිටින බවත් 69 ලක්ෂයක් බලාපොරොත්තු වූයේ එවැනි ආණ්ඩුවක්  නොවන බවත් හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය. 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Rate this item
(0 votes)