April 27, 2024

බාහිර කලා උපාධිය අත්හිටුවයි - බාහිර උපාධියට කරන්න යන දේ මෙන්න

විශ්වවිද්‍යාලවල බාහිරව පවත්වාගෙන යන කලා උපාධි පාඨමාලා රැකියා ඉලක්ක කරමින් ප්‍රතිව්‍යුහගත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එතෙක් බාහිර කලා පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම අත්හිටුවීමට ද ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙම පාඨමාලා ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව විශ්වවිද්‍යාලවලින්ද යෝජනා කැඳවා ඇති අතර පාලක සභාවේ හා සෙනෙට් සභාවේ අනුමැතිය මත මාර්තු මස 01 වැනිදාට පෙර එම යෝජනා එවන ලෙස ද සියලු විශ්වවිද්‍යාලවලට දැනුම්දී තිබේ.

කලා උපාධි පාඨමාලාව වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කමිටුවක් පත් කර තිබූ අතර එහි නිර්දේශද උපකුලපතිවරුන් වෙත යවා ඇත. බාහිර උපාධි පාඨමාලාව ක්‍රියාත්මක කරන තුන් වසරේදීම ඉංග්‍රීසි විෂයය අධ්‍යයනය සඳහා පියවර ගත යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත. එමෙන් ම ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළත්ව තොරතුරු තාක්ෂණය අධ්‍යයනය සඳහා පහසුකම් සැලසීමත් එම නිර්දේශ අතර වෙයි.

විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර කලා උපාධිධාරීන්ගේ සේවා නියුක්ති අනුපාතය ද පහළ මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබිණි. එම සමීක්ෂණයට අනුව 2016 වසරේ කලා උපාධිධාරීන්ගේ සේවා නියුක්ති අනුපාතය සියයට 16කි. 2017 වසරේ දී සියයට 20.9 වූ එම අනුපාතය 2018 වසරේ දී සියයට 12.2 දක්වා පහත බැස ඇති බවත් එම වාර්තාවේ සඳහන් විය.

Rate this item
(1 Vote)