April 27, 2024

දිවයින පුරා "කුළුබඩු නිෂ්පාදන ගම්මාන" ඇති කිරීමේ වැඩපිළිවෙලක් Featured

දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇතැයි කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය පැවසුවාය. 
 
ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම ගම්මාන නිර්මාණය කිරීමට නියමිතය. 
 
එම ගම්මානවල සිදු කරන නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාවන් ද හදුන්වා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන් විදේශ වෙළෙපල ඉලක්ක කරමින් ද කුනළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට ද මේ හරහා මණ්ඩලය සූදානමින් සිටියි. 
 
එසේම එම ගම්මාන තුළ සිදු කරනු ලබන නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබදව වැඩි උනන්දුවකින් කටයුතු කෙරේ.
 
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත මෙම ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ව්‍යාපෘතිය දියත් කරනු ලබන බව කුමුදුණී ගුණසේකර මහත්මිය සදහන් කළාය. 
 
කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය යලි පණ ගන්වනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ශක්තියක් වෙමිනි.
 
1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන යටතේ කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ස්ථාපිත කර ඇති අතර, එම ආයතනයේ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා 2008 ජූලි මස 27 දින සිට ආයතනය වසා දැමිය යුතු බවට 2008 ජූලි මස 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි. 
 
කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මේ වන විට උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරී ඇත.
 
එකී රාජ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව ඇති බැවින් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කර එහි කටයුතු පවත්වාගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේ දීය.
Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 09:59