April 26, 2024

ශ්‍රී ලංකාවේ වරාය නගරය බලන්න පැමිණි ප්‍රබල යුරෝපියානු ප්‍රකෝටිපති පවුලේ සාමාජිකයා කවුද? Featured

ඊයේ (13) දිනයේ දී මෙරටට පැමිණි ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රබලම නාමයක් වන ප්‍රකෝටිපති රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබේ.

බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ බැංකුකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා මෙලෙස මෙරටට පැමිණි අතර ඔහු අද (14) දිනයේදී කොළඹ ඉදිවෙන වරාය නගරයේ සංචාරයකටද එක්ව තිබුණි.

රෝත්ස්චයිල්ඩ් මහතා සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත හිටපු යුරෝපීයානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේවා ආදිත්‍ය සහ හිටපු ආයතනික අංශයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුන්ද එක්ව තිබුණි.

මෙහිදී රෝත්ස්චයිල්ඩ් මහතා ඇතුළු පිරිස කොළඹ වරාය නගරයේ දී ඉහළින් පිළිගෙන තිබූ අතර එම අවස්ථාව සඳහා කොළඹ වරාය නගරයේ ප්‍රධාන විධායක ව්‍යාපෘති නිලධාරී රාජා එදිරිසූරිය මහතාද, චීනයේ CHEC Port City ආයතනයේ සහකාර කලමණාකරණ අධ්‍යක්ෂකවරයා වන යූ යූකියැන්ග් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

මෙහිදී දෙපිරිස අතර කොළඹ වරාය නගරයේ සැලැසුම් මෙන්ම ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳවද සාකච්ඡා කර තිබූ බව සඳහන් වෙයි.

රෝත්ස්චයිල්ඩ් පවුල යනු ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රය පාලනය කරන පවුල ලෙසත්, ලෝකයේ බලවත්ම පවුල් අතරින් එකක් ලෙසත් ලෝකය තුළ මතයක් පවතී.

එම යුදෙව් ජාතික පවුලේ ඉතිහාසය වර්ෂ 1760 දක්වා ඇදී යන අතර ඔවුන් බැංකු ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන බව සඳහන් වෙයි.

එමෙන්ම ලෝකයේ තුළ විවිධ අංශ ව්‍යාපාරයන් රැසක්ද රෝත්ස්චයිල්ඩ් පවුල සතුව ඇති අතර ඒවා අතරට පතල්, බලශක්තිය, දේපළ වෙළඳාම් සහ වයින් නිෂ්පාදනය ද ඇතුළත් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළද පුස්සැල්ලාව ප්‍රදේශයේ රෝත්ස්චයිල්ඩ් පවුලට අයත් සුප්‍රසිද්ධ තේ වතුයායක් ද තිබේ.

වසර 200 ක් පමණ කාලයක් පුරාවටම යුරෝපයේ ආර්ථික හා වක්‍රව දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් කළ යුරෝපීය බැංකු රාජවංශ අතරින් වඩාත් ප්‍රචලිත පවුල ලෙසද රොත්ස්චයිල්ඩ් නම් කළ හැකිය.

ශ්‍රී ලංකාවට පැමිණී  නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා බ්‍රිතාන්‍ය තුළ දැවැන්ත සමාගමක් වන වොලැක්ස් සමූහ ව්‍යාපාරයේ (Volex Group) හිමිකරුවාද වන අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජකයෙකු ද වෙයි.

ඔහුගේ ආදායම පවුම් බිලියන 40ක් බවටද මතයක් පවතින අතර එය සැබැවින්ම තහවුරු වී නොමැත.

නතානියෙල් රෝත්ස්චයිල්ඩ් මහතා කොළඹ වරාය නගරයේ සංචාරය කළ අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)