April 26, 2024

බෙල්ලන්විල ඇත් පැටවාට හිංසා කරන කතාව බොරුවක් - ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි

‘‘බෙල්ලන්විල විහාරයේ ඇත් පැටවාට වධහිංසා කරන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරයක් යනවා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසූවේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වාසය කරන ‘මියන් කුමාර්’ ඇත් පැටවාට වධහිංසා සිදුකරන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් එම විහාරස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදීය.

මෙහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.

‘‘මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ අපේ ‘මියන් කුමාර්’ ඇත් පැටවාට හිරිහැර කරනවා කියලා වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා තුළින් ප‍්‍රචාරය වෙනවා. සත්ත්ව අවිහිංසාවාදී ලේබලයට මුවාවෙලා බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ දුෂ්ඨ පරමාර්ථය ඇතිව මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන මේ පිරිස් ප‍්‍රධාන විහාරස්ථානවල ඉන්න හීලෑ අලිඇතුන් ඒ ඒ විහාරස්ථානවලින් ඉවත් කර ගැනීමේ සියුම් කුමන්ත‍්‍රණයක යෙදී සිටින බව පැහැදිලියි. මේ අවිහිංසාවාදය අන්තවාදයට ගියාම හරි අමාරුයි.

මේ ඇත් පැටවා අද වනවිට විහාර මාවත, පන්සල් වත්තේ ගස් බැඳ සිටින බව ඒ ස්ථානයට යන ඕනෑම කෙනකුට දැකගන්න පුළුවන්. මේ දිනවල ඇත් පැටවාගේ කම්මුල් තෙත් වීම නිසා මද කිපීමේ තත්ත්වයකයි පසුවෙන්නේ. එවැනි තත්ත්වයක් නොවන්නට ඇත් පැටවා අනෙකුත් අවස්ථාවල නීරෝගිමත්ව සිටින බව කියන්න ඕනෑ. ඇත් පැටවාට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හා සාත්තුව ඉතා හොඳින් ලැබෙන බව ඇත් පැටවා පරීක්ෂා කර බැලූ පශු වෛද්‍යවරු හා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහතික කර තිබෙනවා.

එක් පැත්තක් නාවා අනෙක් පැත්ත සේදීමට ඇත් පැටවා පෙරළා ගන්නා අතර, එම වෙලාවට අලි භාෂාවෙන් පමණක් කතා කිරීම ප‍්‍රමාණවත් නොවේ. සැරකර කෝටුවෙන් පාරක් දෙකක් ගැසීමට සිදුවෙනවා. එය ඇත් පැටවාට රිදෙන්න කරන පහරදීමක් නොවෙයි. අලි ඇතුන් නාවන ඕනෑම අයකුට එය කිරීමට සිදුවෙනවා.

ඇත් පැටවා නෑවීමට දෙපැත්ත පෙරළා ගැනීමට අවශ්‍ය නිසා ඇත්ගොව්වා කෝටුවකින් පාර කීපයක් ගසන දර්ශනය කවුරුන් හෝ වීඩියෝ කරලා මුහුණුපොතට දාලා තියෙනවා. සමහර විටෙක ඔහු මෙහි බරපතළකම නොදැන කළා වෙන්න පුළුවන්. වර්තමානයේ බොහෝ දෙනා මෙවැනි දේවල් ගැන හරිහැටි අධ්‍යයනයක් නොකර මුහුණු පොතට දැමීමෙන් සමාජයට සිදුකරන්නේ විශාල අනර්ථයක්. මෙම වීඩියෝව දකින ඕනෑම කෙනෙක් එක්වරම හිතන්නෙ මේ ඇත් පැටවාට කෝපයෙන් පහරදීමක් සිදුකරන බවක්. නමුත් සැබෑ තත්ත්වය ඒක නොවෙයි. මේ ඇත් ගොව්වා ඇත් පැටවාට නිතර ආදරයෙන් කරුණාවෙන් සලකන බවට ඕනතරම් සාක්ෂි තියෙනවා.

ශ‍්‍රී ලාංකික අපේ සංස්කෘතික උරුමයන් හරිහැටි තේරුම් නොගත් සමහර සත්ත්ව අවිහිංසාවාදී යැයි කියාගන්නා පිරිසක් මෙවැනි සුලූ සිද්ධියක් මහා ලොකු දෙයක් බවට පත්කරගෙන හඬ නඟන්නේ සතුන්ට ඇති හැබෑම අනුකම්පාවකින් නොව දේශපාලනික ,ආගමික හෝ වෙනත් යටි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට හෝ තමන්ට නැති ප‍්‍රසිද්ධියක් ලබාගැනීමේ අරමුණින් බව පැහැදිලියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 20:01