April 27, 2024

“පරරාජසිංහම් ඝාතනය මම කළා කියලා මම කිව්වද“ නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මාධ්‍යයට කී දේ

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතු‍රෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකු ඊයේ (13) නිදොස්කොට නිදහස් කෙරුණි. 

ඒ අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසුවය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය අතරතුරදීය. 

අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වූ තමිල් මක්කල් විඩුදපලෙයි පුලිකල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පසුව මාධ්‍ය හමුවක් කැඳවා මෙසේ පැවසීය‍.

"මම දේශපාලනික වශයෙන් නැගෙනහිර පළාතේ නැගී සිටියොත් TNA එක හිතුවා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය නැතිවෙයි කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිර්මාණය කිරීමට සහාය දුන් කණ්ඩායමේ පිරිසක් තමයි මට විරුද්ධව කටයුතු කළේ. TNA එකෙන් නැගෙනහිරින් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කළ පිරිස LTTE යෙන් ඝාතනය කරලා ඔවුන්ට වුවමනා අයව එතැනට දැම්මා. මේවා ගැන කිසිම විමර්ශනයක් අද වෙනකම් සිදුවෙලා නැහැ. පරරාජසිංහම් ඝාතනය මම කළා කියලා මම කිව්වද? නැත්නම් කවුරුහරි දැක්කද? එහෙමත් නැතිනම් වීඩියෝ සාක්ෂි තියෙනවද? එහෙම කිසිම සාක්ෂියක් නැතුව මාව හිරේ දැම්මා. කොච්චර කැත වැඩ යහපාලන ආණ්ඩුවෙන් කරලා තියෙනවද? මම වැරදිකරුවා නෙමෙයි. මේ ඝාතනයට මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අධිකරණයෙන් කියලා තියෙනවා. මාව අත්අඩංගුවට ගත් CID ය, එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් දන්නවා මේ සිද්ධිය ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. මේක 100% ක්ම දේශපාලන පළිගැනීමක්."

Rate this item
(0 votes)