June 14, 2024

රතන හිමි එළිදරව් නොකරන රහස ඥාණසාර හිමි හෙලිකරයි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉතා කෙටි කලක් තුළ ඉල්ලා අස්වී එම මන්ත්‍රීධුරය තමන් වහන්සේට ලබා දීමට එකඟතාවයක් තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එළිදරව් කරයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස රැඳී සිටින කාලය මාස තුනක් හෝ හයක් විය හැකි බව ද ඥානසාර හිමියන් පෙන්වා දෙයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධුරයට පත් වූයේ එවන් එකඟතාවයක් මත බව ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම එකඟතාවය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ගිවිසුම් හෝ වෙනත් ගනුදෙනු නොමැති බව පෙන්වා දෙන ඥානසාර හිමියන් එය තනිකරම විශ්වාසය මත පදනම් වූ බවත් පොරොන්දු වූ පරිදි මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම රතන හිමියන් වහන්සේ අත තිබෙන්නක් බව ද පෙන්වා දෙයි.

තමන් වහන්සේට රතන හිමියන් ඉල්ලා අස්වී මන්ත්‍රී ධුරය ලබා දුනහොත් ඒ හරහා කිරීමට බලාපොරොත්තු වූ සේවය කරන බවත් රතන හිමියන් විශ්වාසය කඩ කළහොත් තමන් වහන්සේ දිගටම කරගෙන ආ වැඩ ටික දිගටම කරගෙන යන බව පෙන්නා දෙන ඥානසාර හිමියන් තමන් වහන්සේට මන්ත්‍රීධුරය ලැබුණත් නොලැබුණත් එය  ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කරයි.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා ඉකුත් 5 වැනිදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුරුම් දෙන ලදී.

ටික කාලයකින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කොට නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 January 2021 11:51