April 27, 2024

නීතිපති ඉල්ලීම නොතකා ඊ.ටී.අයි.සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනාට ඇප

අත්අඩංගුවට ගත් ඊ.ටී.අයි.සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (6 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

සැකකාර හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනාගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම සති ​2කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙස නියෝග කළේය.

මෙම සිද්ධියෙන් සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, අසංක ශ්‍රීමාල් එදිරිසිංහ, නාලක ප්‍රේමලාල් එදිරිසිංහ යන සිවුදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙසද මහෙස්ත්‍රාත් වැඩිදුරටත් නියෝග කළේය.

අදාළ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි නියෝජ්‍ය සෝලිසිටර් ජනරාල් දිලීප පීරිස් දීර්ඝ වශ‍යන් කරුණු දැක්වූ අතර සැකකරුවන්ගේ පාර්ශ්වයේ නීතිඥවරුද දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.

මෙම සැකකරුවන් සිවුදෙනා තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි ගණන් යොදවලා දෙස් විදෙස් දේපළ රැසක් ලබාගෙන තිබෙනවා. තැන්පත්කරුවන්ගේ මුදල් සැකකරුවන් සුඛවිහරණය සඳහා යොදාගෙන තිබෙනවා. එම නිසා සැකකරුවන්ට ඇප ලබානොදී ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවැසීය.

ඊ.ටී.අයි. සමාගම් සමූහයේ අධිපතිනි නැසීගිය සෝමා එදිරිසිංහ ඇතුළු දරුවන් සිවුදෙනා තැන්පත්කරුවන් විසිතුන් දහසකගේ පමණ මුදල් වංචා කරමින් දෙස් විදෙස් දේපළ මිලදී ගෙන තම සුඛවිහරණය සඳහා යොදා ගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

ඊ.ටී.අයි. සමාගම මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් වුවද නීති විරෝධී අයුරින් මුදල් බැර කරගෙන ඇත්තේ සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් බවද දිලීප පීරිස් දන්වා සිටියේය.

එමෙන්ම සැකකරුවන් බෝට්ටු මාර්ගයෙන් විදේශ රටකට පැන යා හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැලඹිල්ලක් ඇති වී ඇති බවත් සැකකරුවන්ට ඇප දුනහොත් එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. සැකකරුවන් නිසි පරිදි අධිකරණයට පැමිණ තිබෙන හෙයින් මහජන කැලඹිල්ලක් ඇති වී ඇති බව පෙනී නොයන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිලිකරුවන්ගේ කැලඹිලි තත්ත්වයක් ඇතිව තිබෙන බව පෙනී යන බව සඳහන් කළේය. සැකකරුවන් බෝට්ටු මගින් පැන යන්නේ නම් ඉකුත් වසර තුන ඇතුළත එලෙස යාමට අවස්ථාව තිබූ බවත් ඔවුන් දේපළ මිලදී ගත් බවක් පෙනී නොයන බවත් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔවුන්ට ඇප ලබා දෙන බව දන්වා සිටියේය. මෙම සිද්ධියට අදාළ නඩුව මෙම මාර්තු මස 03 වැනිදා කැඳවීමටද එදිනට වැඩිදුරට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අසේල රැකව, සජිත ජයවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. අගතියට පත් තැන්පත්කරුවන් පිරිසක් වෙනුවෙන් සඳුන් සේනාධිපති ඇතුළු නීතිඥ මඩුල්ලක් සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නිලධාරි මඩුල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකාරි නෙවිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් අධිකාරි ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි නිලුපුල් මහත්වරු ඇතුළු නිලධාරී මඩුල්ලක් පෙනී සිටියහ.

තම සේවාදායකයන්ට එල්ල වී ඇති චෝදනා ඇප ලබාදිය හැකි වරදවල් බැවින් ඔවුන් ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගත් හිටපු අධ්‍යක්ෂවරුන් රඳවාගෙන ප්‍රශ්න කරන අවස්ථාවේදී එම මූලස්ථාන පරිශ්‍රයට පැමිණි ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමයේ සාමාජිකයන් තමන්ට සිදුවූ අසාධාරණය කියාපාමින් හඬා වැටුණු අයුරු දක්නට ලැබිණි.

‘අපගේ සංගමයේ සිටි වයෝවෘද්ධ බොහෝ පිරිසක් අද වන විට ජීවතුන් අතර නැහැ. ගෙවල් විකුණලා තිබ්බ සල්ලි ඔක්කොම මේකට දැම්මා. අපිට දැන් ආදායමක් නැහැ.’

අපිට ජීවත් වෙන්න සල්ලි නැහැ. අද අපි අසරණ වෙලා. අපි ඊ.ටී.අයි. එකේ දාපු මුදල් ලබාදීලා, අපිට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.’ යැයි එම තැන්පත්කරුවන් එක හඬින් පැවැසීය.

පෙරේදා( 5 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ නීතිඥවරුන් දෙදෙනකු මාර්ගයෙන් ඊයේ (6වැනිදා) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර විය. එලෙස භාර වූ නාලක එදිරිසිංහ අත්ඩංගුවට පත් විය. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කර තිබුණි. පෙරේදා (05 වැනිදා) රාත්‍රියේ සිට සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඊයේ (6 වැනිදා) දින අත්අඩංගුවට ගත් නාලක එදිරිසිංහ යන සැකකරුගෙන්ද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි. ඊටීඅයි ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 ජනවාරි මාසයේදී ජනාධිපති කොමිසමක් පත් කර තිබුණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයෝ ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්, මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියකු වන ඩී. එම්. ගුණසේකර කටයුතු කළහ. ජනාධිපති කොමිසම කරන ලද විමර්ශනවලදී ඊටීඅයි සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ රහස්‍ය ගනුදෙනු රැසක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මුලාශ්‍ර - අරුණ 

Rate this item
(0 votes)