May 04, 2024

ගල් කොරි පාලනය හමුදාව යටතට

දිවයින පුරා තිබෙන සියලූ ගල් කොරිවලට ලබා දෙන පුපුරන ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම පිළිබඳව හා ගල්කොරි අධීක්ෂණය කිරීම සඳහා විශ‍්‍රාමික හමුදා නිලධාරියකු පත් කිරීමට රජය තීරණය කර ඇත.

මාවනැල්ල ගල් කොරියක පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබා දීමෙන් පසු පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කෙරෙන අතර දිනකට කැඩිය හැකි කළුගල් ප‍්‍රමාණය අනුව වෙඩි බෙහෙත් නිකුත් කරනු ලැබේ. මාවනැල්ල ගල් කොරියක තිබූ පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග ඒවා වෙනත් පාර්ශ්වයක් වෙත කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් සඳහා ලබා දුන්නේද යන්න කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

එපමණක් නොව ගල්කොරි ආශ‍්‍රිතව සිදුවන වෙනත් නීතිවිරෝධී කටයුතු මෙන්ම පරිසරයට හා ගල්කොරි අවට සිටින ජනතාවට හානිවන අයුරින් පිපිරවීම් සිදු කරන්නේ ද යන්න සොයා බැලීමත්, අනෙකුත් ගල්කොරිවල මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේද යන්නත් අධීක්ෂණය කිරීම විශ‍්‍රාමික ඉහළ හමුදා නිලධාරියා හරහා සිදු කිරීමට මෙම නිලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්තව පත් කිරීමට ද පියවර ගන්නා බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(1 Vote)