May 02, 2024

යුද්ධ හමුදා මුලස්ථානයේදී උසස්වීම් ලැබු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හට හමුදා ගෞරවාචාර පිරිනමයි

පසුගියදා ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය ඊයේ (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද ජෙනරල් නිලයට උසස් කරන ලදී.

හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉන්දික පෙරේරා විසින් යුද්ධ හමුදාධිපතිවරයාව මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් උසස්වීම් ලැබූ යුද්ධ හමුදාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 48 දෙනෙකුගෙන් සමන්විත රෙජිමේන්තු වර්ණ පෙරටුකරගත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා කැටුව යන ලදී. පෙළපාලියේ අණදෙන නිලධාරී සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමගින් වර්ණවත් සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කළ උසස්වීම් ලැබූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාය මහත් හරසරින් යුතුව පිරිනැමීය.

යුද්ධ හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදාධිපතිවරයා වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, උපදේශකයින්, අධ්‍යක්‍ෂවරුන් සිය සුභාශිංෂණ පිරිනැමීය.

Rate this item
(0 votes)