May 02, 2024

කොවිඩ් සමඟ සටන් වදින සියලු සේවකයන්ට ‘විරු අබිමන්’ රක්ෂණාවරණය හිමිවෙයි

December 24, 2020

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් පසුගිය 22 වනදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

කොවිඩ් 19 වසංගත අවදානම සමග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කළේය. කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ ඉන් ආවරණය කෙරෙති.

දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

කොවිඩ් 19 නිසා ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය රුපියල් 100,000ක් ප්‍රදානය කරයි. රෝහල් ගතවීමේදී ලැබෙන මුදල රුපියල් 1,000කි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90ක උපරිමයට යටත්ව රුපියල් 2,000ක දීමනාවක් පිරිනැමේ.

මෙම ‘විරු අභිමන්’ ආවරණය මඟින් සියලුම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල (සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, රියදුරන්, සුලු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කළාප සෞඛ්‍ය නිළධාරීන්) ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව) ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙයි.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවකයන්ට මෙම වසංගතය හේතුවෙන් උද්ගතවන අවාසනාවන්ත තත්ත්වයක දී මූල්‍ය ආවරණයක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර යටතේ පෞද්ගලික අංශයේ සේවකයින්ද මෙම රක්ෂණාවරණයට දායක කර ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ 2020 මාර්තු මාසය දක්වා ජීවිත රක්ෂණ ලබාගත් සේවා දායකයින් කිසිවකුත් කොවිඩ් -19 රෝගය සඳහා ආවරණය නොවූ අතර, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සියලු දෙනා වෙත, එම නව රෝග ආවරණය නොමිලයේ ලබාදීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මේවන විට කොවිඩ් 19 අවදානම මැද රට වෙනුවෙන් කළ යුතු යුතුකම් පැහැර නොහැර කොවිඩ් 19 අවදානම මත සේවය කරන සේවකයින් සිදු කරනුයේ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවකි. ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ සුභ සාධනය ගැන සිතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය ගත් මෙම ක්‍රියාමාර්ගය ජනතා පැසසුමට ලක්වූ කාරණයකි.

මේ තත්ත්වය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිර යාමේ අවදානම අවම කිරීම සඳහා පූර්වෝපාය පියවරක් ලෙස, මහ නගර සභා, පළාත් සභා, නගර සභා සහ අනෙකුත් අවශ්‍ය රාජ්‍ය ආයතන විෂබීජහරණය කිරීම සඳහා විෂබීජ නාශක, දියර ලීටර 10,000 සහ මේ අවදානම් අවස්ථාවේ ජනතාවට සේවා සපයමින් රාජකාරියේ යෙදී සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන් 10,400 දෙනකු සඳහා සනීපාරක්ෂක දියර සහ මුහුණු ආවරණ ද පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පියවර ගෙන තිබිණි.

රට ව්‍යසනයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ජාතික ආයතනයක් ලෙස, වෙළෙඳ අරමුණුවලින් ඔබ්බට ගිය ජාතික සහ සමාජ වගකීමක් තමන් සතු බව ද ඒ අනුව, ආයතනයක් ලෙස නව දැක්මක් තමන් සතු බව ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි.

“මේ තුළ අප ක්‍රියාත්මක කරන්නට යන්නේ ජාතික අවශ්‍යතාවක්. මොන සමාජ මට්ටමක ජීවත් වුවත්, රටේ සෑම පුරවැසියකුටම ජීවිත රක්ෂණයක් තිබිය යුතුයි. ඒ කියන්නේ, ලෙඩකට දුකකට පත් වුණොත් තමන් වෙනුවෙන් සහ ජීවිතය අහිමි වුවහොත් තමන්ගේ පවුලේ අය වෙනුවෙන්. ඒත් එදිනෙදා කුලී වැඩ කරන නාට්ටාමි කෙනෙක් කොහොමද ජීවිත රක්ෂණයක් ගෙවන්නේ... ඇත්තටම කිව්වොත් එදා වේල සොයාගන්නා කම්කරුවන්ට තමයි ජීවිත රක්ෂණයක් තිබෙන්නටම අවශ්‍ය. විශේෂයෙන් නගර සභාවේ බාහිර සුළු සේවකයෝ, නාගරික කම්කරුවෝ. ඔවුන්ගේ ජීවිතයේ අවසන් කාලය ඉතාම දුක්බරයි. මේ අය තමයි, රක්ෂණයක් අවශ්‍ය එහෙත් එය ඉටුකර ගත නොහැකි පිරිස්. වාණිජ අරමුණුවලින් ඔබ්බට ගොස් සමාජ අරමුණු ක්‍රියාත්මක විය යුත්තේ, රටේ මෙවැනි පුරවැසියන් හැමදාමත්, අත්‍යාවශ්‍ය හැම මොහොතකම අත්හැරෙන නිසා.” යැයි සභාපතිවරයා පැවසීය.

දැනටමත් සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය, කැබිනට් අනුමැතියකින් ක්‍රියාත්මක අතර එයද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ක්‍රියාත්මක කරයි. මේ කාණ්ඩයමටම විශ්වවිද්‍යාල, තාක්ෂණික අධ්‍යාපනික ආයතන සහ පෙර පාසල් ඇතුළත් වේ.

 මෙවැනි සේවයක් සිදු කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය 2019 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.

ඒ අනුව 2019 වර්ෂයේ වාර්තාකළ රු.බිලියන 7.1 ක බදු පෙර ලාභය ඉක්මවා යමින් 2020 වසර සඳහා රු.බිලියන 8.2 ක බදුපෙර ලාභයක් වාර්තා කරමින් 15% විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කරමින් එම ක්ෂේත්‍රය තුල ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින්ම පවත්වාගෙන යන ලද වාර්තාව අබිමවා යමින් 2019 වසර තුලදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු.බිලියන 7.6 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමත්ව තිබේ.මේ අනුව පසුගිය වසර 10 මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 50ක අගයක් ගනී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 December 2020 12:03