May 17, 2024

කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට

December 01, 2020

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ  සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.


මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින්, එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූහ.

සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .

එහි 61 දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති. සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියාසිටිති. එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, ෆායිස් මුස්තාපා, ඉක්‍රාම් මොහොමඞ්, නීතීඥවරුන් වන විරාන් කොරයා, ෆයිසා මුස්තාපා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

Rate this item
(0 votes)