April 26, 2024

"සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයකට ආණ්ඩුව සැරසෙනවා" - රසික ජයකොඩි

November 23, 2020

වත්මන් රජය මේ වන සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයක් සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කරමින් සිටින බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ සිංගප්පූරුවේ පසුගිය වසරේ සම්මත කරන ලද අන්තර්ජාල ව්‍යාජ ප්‍රවෘත්තිවලින් ආරක්ෂා වීමේ පනත (Protection of Online Falsehood and Manipulation Act) අනුව යමින් ශ්‍රී ලංකාවේ ද නව නීති සහ නියාමන යාන්ත්‍රණයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවට අයත් ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කොට තිබෙන බවයි.

"සිංගප්පූරුවේ සම්මත කරන ලද මේ පනත අතිශය දරුණු සහ මර්දනකාරී එකක්. ඒ හරහා ආණ්ඩුවට එරෙහි මත පළ කරන විවේචනාත්මක වෙබ් අඩවි මර්දනය කරන්නටත් ඒවා පවත්වා ගෙන යන ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන්නටත් පුළුවන්. මේ මොහොතේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති ප්‍රබල ජනතා අප්‍රසාදය ප්‍රකාශය පත් වෙන ප්‍රධාන ම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල අවකාශයයි. ඒ නිසා රජය මේ වන විට සිංගප්පූරු පන්නයේ මර්දනකාරී නීති හරහා අන්තර්ජාලයේ මත පළ කරන්නන් මර්දනය කිරීමට සැරසෙනවා," යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

"සිංගප්පූරු පනතට අනුව ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම තොරතුරක් ඉවත් කරන්න වගේ ම තමන්ට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක බලහත්කාරයෙන් නිවැරදි කිරීම් පළ කරන්නට ආණ්ඩුවට පුළුවන්. එමෙන් ම ආණ්ඩුවේ නියෝග ක්‍රියාත්මක නොකරන වෙබ් මාධ්‍යවේදීන් 10 වසරක සිර දඬුවමකට හෝ ඇමෙරිකන් ඩොලර් මිලියන 10ක දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙනවා. මෙය ඉතාම භයානක නීතියක් වන්නේ ඒ නිසයි."

"ඊට අමතරව මෙහි තියන අතිශය භයානක පැතිකඩක් වන්නේ මේ හරහා වෙබ් අඩවි වලින් එම අඩවි පරිශීලනය කරන්නන්ගේ දත්ත ලබා ගැනීමට ආණ්ඩුවට ලැබෙන හැකියාවයි. එම දත්ත ආණ්ඩුව කුමන කටයුතු සඳහා භාවිතා කරයිද කියලා බරපතළ සැකයක් මතු වෙනවා. එම දත්ත නිසා පුද්ගලික නිදහසට මොන හානි වෙයිද? ප්‍රජාතන්ත්‍රවාදයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොන විදියේ බලපෑමක් එල්ල වෙයිද? මේ කරුණු ගැන සමාජයේ පුළුල් සංවාදයක් මතු කළ යුතුයි," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

"ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ යාන්ත්‍රණය තවත් සති දෙකක් තුළ ක්‍රියාත්මක කරනවා කියලා. මොකක්ද මේ හදිසිය? ඇයි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන එක්ක සාකච්ඡා කරන්නේ නැත්තේ? ඇයි මේ ගැන සියලු ම පාර්ශ්වයන් එක්ක එකඟත්වයක් ඇති කරගැනීමට කටයුතු කරන්නේ නැත්තේ? ව්‍යාජ පුවත් සහ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීම කළ යුතුයි. ඒත් ඒ මුවාවෙන් ආණ්ඩුවර එරෙහි විවේචනාත්මක අදහස් මර්දනය කරන්නට සැරසීම හෙළා දැකිය යුතු ක්‍රියාවක්. මේ සැරසන්නේ ඒ මර්දනයට!," යැයි ද ඔහු අවධාරණය කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 15:21