April 26, 2024

බෙහෙතක් සොයා ගත් වහාම එන්නත් ලක්ෂ 42ක් ශ්‍රී ලංකාවට - ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

November 22, 2020

කොවිඩ් 19 වයිරසයට එරෙහිව සාර්ථක එන්නතක් සොයාගත් වහාම එන්නත් ලක්ෂ 42ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ඒ අනුව මූලික පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20ක පමණ පිරිසකට මේ එන්නත ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් එකඟතාව පළ කර තිබෙන බව පැවසූ ගුණසේන මහතා එම එන්නත් තොගය අදියර තුනක් යටතේ මෙරටට රැගෙන එන බවද එක් අදියරක් සඳහා ලක්ෂ 14ක එන්නත් ප්‍රමාණයක් අන්තර්ගත වන බවද පෙන්වා දුන්නේය.

මීට මාස කිහිපයකට පෙර සිට එන්නතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පෙන්වා දුන් ඒ මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුනෙස්කෝ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව යන සංවිධානයන්හි ආසියානු කලාපීය නියෝජිතයන් සමඟ මෙරට නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කළ බවද කොවිඩ් සම්බන්ධයෙන් එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාදුන් වහාම ශ්‍රී ලංකාවට එම එන්නත් තොගයක් ලබාදීමට පියවර ගන්නා බවට එකඟවී තිබෙන බවද පැවසීය.

කිසියම් එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මූලික වශයෙන් ලෝකයේ සෑම රටකටම ජනගහනයෙන් සියයට 20ක ප්‍රමාණයක් සඳහා එන්නත් ලබාදීම සිදුකරන බවද සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම සියයට 20ක ප්‍රමාණය ලබාදීමෙන් අනතුරුව තවදුරටත් එක් එක් රටවලට එන්නත ලබාදීම සිදුකරන බවද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)