May 02, 2024

තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි

November 08, 2020

ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙළ සෞඛ්‍යාරක්ෂිත නැතැයි පවසමින් බොරැල්ල හා හැව්ලොක් පෙදෙස ප්‍රධාන තැපැල් කාර්යාල දෙක ඊයේ (07) ඖෂධ බෙදීමේ කටයුතුවලින් ඉවත්ව සිටි බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ කොරෝනා ආසාධිතයෙක් හමුවීමත් සමග එය වසා දැමුණු බැවින් ඖෂධ බෙදීමේ කටයුතු බස්නාහිර පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ මෙහෙයවීම් මත  තැපැල් කාර්යාල මගින් බෙදාහැරීම ඊයේ (07) ඇරඹුණු නමුත් මෙම කාර්යාල දෙක පමණක් එම කටයුතුවලින් ඉවත්වී තිබේ.

මේ තත්ත්වය යටතේ අසාධ්‍ය රෝගීන්ගේ ඖෂධ රැසක්ද මෙම කාර්යාල දෙකෙහි රැඳී තිබුණු බවද වාර්තා වේ.

මේ සම්බන්ධව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කලේ ඒ පිළිබඳව තමන්ට මෙතෙක් වාර්තා වී නැති බවයි.

තැපැල්පතිවරයා නිකුත්කළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කිරීමට දෙපරේතමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල බැඳී සිටින බවද රණසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් සඳුදාද මෙම කාර්යාල ඖෂධ බෙදීම් නතර කළහොත් විකල්ප වැඩපිළිවෙලකට යන බවද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)