April 26, 2024

මගෙන් ෆීල්ඩ් මාර්ෂල්ගේ වැඩේ බලාපොරොත්තු වෙන්න බෑ - හේමසිරි Featured

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ෆීල්ඞ් මාර්ෂල්වරයකුගේ කාර්ය භාරය අපේක්‍ෂා කළ නොහැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවැසීය.
 
 රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය වූ මධු ජයතිලක මහත්මියගේ හරස් ප‍්‍රශ්න විමසීම හමුවේ හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඒ පිළිබඳව සඳහන් කළ අතර ජයතිලක මහත්මියගේ හරස් ප‍්‍රශ්න විමසීම හමුවේ ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
 
 නීතිඥවරිය- ප‍්‍රහාරයක් එල්ල වන බවට 2019 අපේ‍්‍රල් 7 වැනි දින ඔබට තොරතුරු ලැබීමෙන් පසුව රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබට දුරකථන ඇමැතුම් දෙකක් ලැබුණා නේද?
 
 සාක්‍ෂිකරු- හරියටම කියන්න බැහැ.
 
 නීතිඥවරිය- 2019 ජනවාරි 01 දා සිට 2019 අපේ‍්‍රල් 26 දා දක්වා දුරකථන දත්ත මාර්ග අනුව නිලන්ත ජයවර්ධන මහතා ඔබට ඇමැතුම් දෙකක් අරගෙන තිබෙනවා නේද?
 
 සාක්‍ෂිකරු- වාර්තාවේ ඒ බව සඳහන් වනවා නම් මම එය පිළිගන්නවා.
 
 නීතිඥවරිය- එම ඇමැතුම් දෙක ලබාගෙන ඔබට කිව්වේ 2019 අපේ‍්‍රල් 04 වැනි දින විදේශයකින් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව නේද?
 
 සාක්‍ෂිකරු- මම එය ප‍්‍රතික්‍ෂේප කරනවා. අපේ‍්‍රල් 8 වැනිදා මම කාර්යාලයේ සිටින විට නිලන්ත ඇවිත් මට එය පෙන්වුවා.
 
 නීතිඥවරිය- නිලන්ත ජයවර්ධන මහතා එම ඇමැතුම දීලා සහරාන්ගේ කණ්ඩායම විසින් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව කිව්වා නේද? ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයත් ඉලක්ක කර ඇති බව කිව්වා නේද?
 
 සාක්‍ෂිකරු- එම තොරතුරු මට ලැබුණු විධිය හොඳට මතකයි. දුරකථනයෙන් කිව්වේ නැහැ. ජාතික බුද්ධි ප‍්‍රධානියා විසින් තමයි මට ඒ පිළිබඳව දැනුම් දුන්නේ.
 
 නීතිඥවරිය- ලැබුණු තොරතුරු පිළිබඳව පසු විපරමක් කළේ නැහැ නේද?
 
 සාක්‍ෂිකරු- ජාතික බුද්ධි ප‍්‍රධානියාට මම කිව්වා ඊට පසු දිනට යෙදී තිබුණ බුද්ධිසමාලෝචන රැුස්වීමේදී ඒ පිළිබඳව කතා කරමු කියලා. නිලන්තටත් කියන්න කියලා ඔහුට මම කිව්වා. ඊට පසු දින 7 ට එම රැුස්වීම පටන් ගත්තා.
 
 නීතිඥවරිය- ලැබුණු තොරතුරු බුද්ධි තොරතුරක්ද?
 
 සාක්‍ෂිකරු- එය සනාථ නොකළ තොරතුරක් වුවත් එය වැදගත් තොරතුරක්. වසර හතරකට පසුව ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුර ඒක තමයි.
 
 නීතිඥවරිය- එය බුද්ධි තොරතුරක්ද?
 
 සාක්‍ෂිකරු- එය බුද්ධි තොරතුරක් නොවෙයි.
 
 නීතිඥවරිය- බුද්ධි තොරතුරක් හඳුනාගන්නේ කෙසේද යන්න ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ.
 
 සාක්‍ෂිකරු- මම පස්සේ ඉගෙන ගත්තා. අවදානමක් විශ්ලේෂණය කරන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තා.
 
 නීතිඥවරිය- ඔබගේ පහළ නිලධාරීන්ට ඒ පිළිබඳව ඔබ ඉගැන්වූයේ නැහැ නේද?
 
 සාක්‍ෂිකරු- මම එය පසුකාලීනව ඉගෙන ගත්තේ.
 
 නීතිඥවරිය- ඔබ ඒ පිළිබඳව ඉගෙන ගත්තේ 2019 අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය එල්ල වීමෙන් පසුව නේද? ඒ පිළිබඳව කලින් ඉගෙන ගන්න ඕන කමක් තිබුණේ නැහැ නේද?
 
 සාක්‍ෂිකරු- මම ඒ ගැන විශේෂ සුදුසුකම් ලබපු අයකු නොවෙයි. අපේ රටේ බුද්ධි අංශ හතරක් තිබෙනවා. එම අංශවල ප‍්‍රධානීන් එම විෂය පිළිබඳව අවබෝධයක් ලබා තිබෙනවා. එම දැනුම ලබාදිය යුත්තේ ඔවුන් විසින්. ඔවුන් විසින් තමයි ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා වැනි අය දැනුවත් කළ යුත්තේ.
 
 නීතිඥවරිය- 2019 අපේ‍්‍රල් 8 වැනිදා වනවිට සයින්දමරුදු ප‍්‍රදේශයේ මෝටර් බයිසිකල් පිපිරීම සිදුවී තිබුණද?
 
 සාක්‍ෂිකරු- නැහැ.
 
 සභාපති විනිසුරුතුමා- මලල්ගොඩ කමිටුව හමුවේ ඔබ ප‍්‍රකාශ කර තිබෙනවා 2019 අපේ‍්‍රල් 7 වැනිදා නිලන්ත ජයවර්ධන මහතා ඇමැතුමක් දුන්න බව. නමුත් ඔබ අද එබඳු ඇමැතුමක් නොලැබුණ බව ප‍්‍රකාශ කළා.
 
 නිවැරදි වන්නේ අද කළ ප‍්‍රකාශය ද මලල්ගොඩ කමිටුවට කළ ප‍්‍රකාශයද?
 
 සාක්‍ෂිකරු- මලල්ගොඩ කමිටුවට එම ප‍්‍රකාශය කළේ ප‍්‍රහාරයෙන් දින 3 - 4, කට පසුව. එදා සිටිය තත්ත්වය අනුව එම ප‍්‍රකාශය කරන්න ඇති.
 
 නිලන්ත මට ඇමැතුමක් දුන්නේ අපේ‍්‍රල් 8 වැනිදා තමයි.
 
 රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- මලල්ගොඩ කමිටුවට ඔබ කළ ප‍්‍රකාශය කියවා අත්සන් කළා නේද?
 
 සාක්‍ෂිකරු- මම හිතන්නේ කියෙව්වා. නමුත් අත්සන් කළ බව මතක නෑ.
 
 රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- 2019 අපේ‍්‍රල් 4 විදේශයකින් ලැබුණු තොරතුර ඔබට ලැබුණේ කවදාද කියා එම කමිටුවේදී ඇසුවා නේද? එම අවස්ථාවේදී ඔබ ඔව් මේ වාර්තාව මම දුටුවා. 7 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාතික බුද්ධි ප‍්‍රධානියා වෙත වාර්තාවක් යොමුකර තිබුණා. ඒ සමගම නිලන්ත ජයවර්ධන මහතා මට දුරකථන ඇමැතුමක් දුන්නා. ජාතික බුද්ධි ප‍්‍රධානියාත් මමත් සමග කතා කළා. ඔහුට එම තොරතුරු 8 වැනිදා ලැබිලා තිබුණා. එම තොරතුරු ගැන අපේ‍්‍රල් 9 දා රැුස්වීමේදී කතා කරමු කියලා අපි කතාකර ගත්තා. 9 වැනිදා ඒ ගැන දීර්ඝව කතා කළා.
 
 හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඔබ මලල්ගොඩ කමිටුව හමුවේ එලෙස සඳහන් කර තිබෙනවා නේද?
 
 සාක්‍ෂිකරු- මට මතක නෑ. මොන හේතුවක් නිසා හෝ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කතා කළ බව මගේ මතකයට එන්නේ නැහැ.
 
 රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය- යම් සිදුවීමක් පිළිබඳව හොඳින් මතක තිබෙන්නේ එම සිදුවීමට ආසන්න කාලයේද? එසෙත් නොමැති නම් ඉන් පසුවද?
 
 සාක්‍ෂිකරු- එහෙම වෙන්න පුළුවන්. මෙහෙම වරදක් සිද්ධ වූයේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. 7 වැනිදා එම තොරතුර පිළිබඳව මම දැනුවත් කළා කියන එක මට මතක් වෙන්නේ නැහැ.
 
 මට ප‍්‍රශ්නයක් තිබෙනවා. මගේ වික්‍ෂිප්ත භාවය නිසා මොනවා ප‍්‍රකාශ කළාද දන්නේ නැහැ. එම කමිටුවට මම ලිඛිත ප‍්‍රකාශයක් දුන්නා. එය බලන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි.
 
 නීතිඥවරිය- අද උදේ ආහාරයට ගත් දේ මතකද හේමසිරි මහත්තයා?
 
 සාක්‍ෂිකරු- මතකයි.
 
 නීතිඥවරිය- වසරකට පෙර ආහාරයට ගත්ත ඒවා මතකද?
 
 සාක්‍ෂිකරු- නැහැ.
 
 නීතිඥවරිය- ලැබුණු තොරතුරේ තිබෙනවා ප‍්‍රහාරයක් එල්ල කරන බව. 20 වැනිදා ලැබුණු තොරතුර ගැන කම්පනයක් දැණුනු බව ඔබ කිව්වා.
 
 සාක්‍ෂිකරු- ඔව්නීතිඥවරිය - කාත්තන්කුඩියේදී මෝටර් බයිසිකලයක් පුපුරුවා සිදුකළ අත්හදා බැලීමත් ඔබගේ කම්පනයට හේතු වූවාද?
 
 සාක්‍ෂිකරු - සමස්ත තොරතුරම මාව කම්පනයට පත් කළා.
 
 නීතිඥවරිය - ඔබ කම්පනයට පත්වූයේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ද නැතිනම් නිකන් ද?
 
 සාක්‍ෂිකරු - මම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තමයි කම්පනයට පත්වූයේ. විදේශ බුද්ධි සේවයෙන් තොරතුරු ලැබුණු විට කම්පනයක් ඇති වූවා. පොලිස්පතිවරයා අවශ්‍ය කටයුතු කළ බව දැනගත්තා.
 
 නීතිඥවරිය - ඔබගේ වගකීම නේද ජනාධිපතිතුමා දැනුවත් කිරීම?
 
 සාක්‍ෂිකරු - මම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ ජනාධිපතිවරයා සමග බුද්ධි තොරතුරු පිළිබඳව කතා කරලා නැහැ. මම ලේකම්වරයා ලෙස පත්වීමෙන් දින කිහිපයකට පසු ජනාධිපතිතුමාට බුද්ධි තොරතුරක් පිළිබඳව දැනුම් දුන්නා. එම තොරතුරේ ශීර්ෂ පාඨය කියනකොටම ජනාධිපතිතුමා කිව්වා නිලන්ත කිව්වා එම නිසා අවශ්‍ය නැහැ කියලා කිව්වා. තවත් දවසක බුද්ධි තොරතුරක් දැනුම් දුන්නු විට නිලන්ත කියනවා කිව්වා. පසුව මම නිලන්තගෙන් ඇසුවා මොකද්ද මේ ක‍්‍රමවේදය කියලා. නිලන්ත කිව්වා වසර හතරහමාරක් පමණ තොරතුරු දෙනවා මම ලේකම්තුමාටත් තොරතුරු දෙනවා කියලා. මම දන්නවා නිලන්ත අවශ්‍ය සියල්ල දෙනවා.
 
 මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නු දවසෙත් ඇසුවා නිලන්ත තොරතුරු දැන්වූවා ද කියලා. නැහැ කියලා කිව්වා. එම අවස්ථාවේදී මම කලින් සිදුවීම මතක් කරලා ඒ අනුව නිලන්ත නේද තොරතුර දෙන්න ඕනි කියලා ඇසුවා. ජනාධිපතිතුමා මොකුත් කිව්වේ නැහැ.
 
 නීතිඥවරිය - මීට පෙර පැවති කොමිෂන් දෙකක දීම ඔබ ඒ පිළිබඳව සඳහන් කළේ නැහැ නේද? ඔබ සූදානම් වන්නේ ඔබගේ වගකීම නිලන්ත ජයවර්ධන මහතා මත පැටවීමට නේද?
 
 සාක්‍ෂිකරු - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී මේ විධියටම ඒ පිළිබඳව පැහැදිලි කළා. මෙම කොමිසමේදීත් අවස්ථා දෙකකදී සඳහන් කළා.
 
 නීතිඥවරිය - ඔබේ වගකීම නිසි පරිදි ඉටු කළා නම් 2019 අපේ‍්‍රල් 21 සිද්ධ වූ ප‍්‍රහාරය එල්ල වන්නේ නැහැ නේද?
 
 සාක්‍ෂිකරු - මගේ වගකීම පැහැර හැර නැහැ. බුද්ධි තොරතුරු වාර්තා කිරීම හැර අනෙක් කටයුතු නොපිරි හෙළා ඉටුකර තිබෙනවා. මෙම ප‍්‍රහාරය වළක්වා ගන්න තිබුණු අවස්ථාව රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා මඟහැරියා. අපේ‍්‍රල් 09 වැනිදා පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී පළමු පැහැදිලි කිරීම කළේ ඔහු. නමුත් ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ඔහු සඳහන් කළේ නැහැ.
 
 එම තොරතුරේ අයිතිකරු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා. එම බුද්ධි අංශයට දීලා තිබෙන වගකීම වෙන කිසිදු බුද්ධි අංශයකට දීලා නැහැ. මෙය සනාත නොකළ තොරතුරක් නිසා කතා කරන්න අවශ්‍ය නොවූ බව සඳහන් කළා. මට කිව්වා ඒ පිළිබඳව වාර්තාවක් සකස් කරලා එවන බව.
 
 මෙම තොරතුරු විශ්ලේෂණය කරගන්න බැරිවීම තමයි ප‍්‍රශ්නය. ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ සියලූ තොරතුරු බුද්ධි අංශ සතුව තිබුණා. එම තොරතුරු සමග ලැබුණු තොරතුරු විශ්ලේෂණය කළා නම් එම ප‍්‍රහාරය වළක්වාගන්න තිබුණා. අපේ‍්‍රල් 04 වැනිදා ලැබුණු තොරතුරු විශ්ලේෂණය කළා නම් එම ප‍්‍රහාරය වළක්වාගන්න තිබුණා.
 
 නීතිඥවරිය - මෙම තොරතුර නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණේ ඉන්දියාවෙන්.
 
 සාක්‍ෂිකරු - රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා නිලන්ත. එම නිසා එහි අයිතිකරු නිලන්ත.
 
 නීතිඥවරිය - එම තොරතුර අනික් අයට ඇරිය පසු එම තොරතුර ඔවුන්ගේ වන්නේ නැද්ද?
 
 සාක්‍ෂිකරු - රාජ්‍ය බුද්ධි සේවයේ 1500 පමණ සිටිනවා. ඔවුන්ට මෙම තොරතුරෙන් 5% ක්වත් සොයාගන්න බැරි වූවා. එම නිසා එම තොරතුර ලැබුණ අය තමයි ඒ සඳහා කටයුතු කළ යුත්තේ.
 
 09 වැනිදා තිබූ බුද්ධි සමාලෝචන රැුස්වීමේදී මේ පිළිබඳව කතා කළා නම් ක‍්‍රියාන්විත සැලැස්මක් හදන්න තිබුණා.
 
 නීතිඥවරිය - ලැබුණු තොරතුරු ඔක්කොම ගලපලා අපේ‍්‍රල් 20 ලබාදීමෙන් පසුත් ප‍්‍රහාරය වළක්වාගන්න බැරි වූවා නම් ඔබේ රාජකාරියේ ඇති වැඬේ කුමක්ද?
 
 සාක්‍ෂිකරු - එම ප‍්‍රශ්නයට කොහොම උත්තර දෙන්නද කියලා මම දන්නේ නැහැ. 20 වැනිදා වනවිට එම තොරතුර විශ්ලේෂණය කර තිබුණේ නැහැ. ඒ වගේ 20 වැනිදා වනවිට එම ප‍්‍රහාරය වළක්වා ගන්න තිබූ ඉඩත් අඩුයි. නමුත් අපේ‍්‍රල් 09 කතා කළා නම් ක‍්‍රියාන්විත සැලැස්මක් සකස් කරන්න තිබුණා.
 
 නීතිඥවරිය - සහරාන් අත්අඩංගුවට ගත්තා නම් ප‍්‍රහාරයක් එල්ල වන බවට විදේශයකින් තොරතුරක් ලැබෙන්නේ නැහැ නේද?
 
 සාක්‍ෂිකරු - එය බැහැර කරනවා. සහරාන් ත‍්‍රස්තවාදියකු බව කියලා තිබුණේ නැහැ. අන්තවාදී දේශන කරන බව පමණයි දැන සිටියේ. ඔහු අත්අඩංගුවට ගන්න ලේකම් අවශ්‍ය නැහැ.
 
 නීතිඥවරිය - සහරාන් අයි. එස්. මතවාදයට ලැදි පුද්ගලයකු බව බුද්ධි අංශ වාර්තා කර තිබුණා. එසේ තිබියදී අවශ්‍ය පියවර ගන්න නොහැකි වූවා නම් ඔබගේ පරිණත බවේ ඇති වැඬේ කුමක්ද?
 
 සාක්‍ෂිකරු - එවැනි මත දරන අය ඕනෑම රටක ඉන්නවා. නමුත් ඔවුන් ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදයක් දක්වා යන තුරු එය විශ්ලේෂණය කරගන්න බුද්ධි අංශවලට බැරි වූවා.
 
 නීතිඥවරිය - ඔබ ඔය කියන විශ්ලේෂණය ඉදිරිපත් කර තිබෙනවා. ඔබ මෙම කොමිසම නොමඟ අරින්න හදන බව මම කියනවා.
 
 සාක්‍ෂිකරු - මම නොමඟ හරින්නේ නැහැ. සහරාන් ත‍්‍රස්තවාදියකු ලෙස හඳුනාගෙන නොමැති නම් අපි එතැනින් එහාට කටයුතු කරන්නේ කෙසේද? එය කාත්තන්කුඩියේ පොලිසිය දන්නේ නැතිනම් ආරක්‍ෂක ලේකම් දන්නේ කෙසේද?
 
 5 ශිෂ්‍යත්වයට පෙනී සිටින ළමයි මීට වඩා හොඳ වාර්තා ලියනවා. එම වාර්තා විශේෂඥ දැනුම තිබෙන අය ලවා පරීක්‍ෂා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ලේකම්වරයකුගෙන්, ෆීල්ඞ් මාර්ෂල් කෙනෙකුගේ කාර්යභාරය අපේක්‍ෂා කරන්න බැහැ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2020 12:54