May 19, 2024

සුපිරි 12 පළමු තරගය තියුණු ලෙස නිමාවෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (23) ආරම්භ වූවා.

එම වටයේ පළමු තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර යි.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට දැවැන්ත ලකුණු ගණනක් වෙත යාමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත පන්දු වාර 20 ඇතුළත කඩුළු 09ක් දැවී දකුණු අප්‍රිකානු කණ්ඩායම රැස් කළේ ලකුණු 118ක් පමණයි.

දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවන් සියළු දෙනාම පාහේ ඉතා අඩු ලකුණුවලට දැවී ගියා.

ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ ඒඩන් මාක්‍රම් ලකුණු 40ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට ලැබුණු 119ක ඉලක්කය පහසු එකක් ලෙස පෙනුනත් අවසන් පන්දුවාරයවන තෙක් ඉතා උණුුසුම් ලෙස තරගය ඇදී ගියා.

තරගයේ අවසන් පන්දුවාරය ආරම්භ වෙද්දී ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු 06ක් තුළ ලකුණු 08ක් ලබා ගත යුතුව තිබුණා.

අවසන් පන්දු වාරයේ තවත් පන්දු 02ක් පමණක් ඉතිරිව තිබිය දී මාකස් ස්ටෝනිස් එල්ල කළ 04 පහරක් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කඩුළු 05ක් දැවී ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු ගණන 121ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙම තරගය කඩුළු 05කින් ජය ගත්තා.

සුපිරි 12 වටයේ අද පැවැත්වෙන දෙවැනි තරගය රාත්‍රී 7.30ට එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 19:24