May 08, 2024

අති විශිෂ්ඨයකුගේ නික්ම යෑම : විශ්ම කර්ම පිතිකරුවා ක්‍රිකට් පිටියට සමුදෙයි

November 19, 2021

මෑත ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ටතම පිතිකරුවකු ආබෲ බෙන්ජමින් ඩි විලියර්ස් නැතිනම් බොහෝ දෙනෙක් දන්නා විදියට ඒ.බී. ඩි විලි‍යර්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු හඳුන්වන්නේ විශ්ව කර්ම පිතිකරුවෙක් ලෙසයි.

අති විශිෂ්ට දක්ෂතා

දකුණු අප්‍රිකාවේ උපත ලද ඩි විලියර්ස් සිය ක්‍රිකට් පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන් දැක්වූ දක්ෂතා අති විශිෂ්ටයි.

ලොව පුරා රටවල් රැසක විස්සයි විස්ස ක්‍රීඩා තරඟ වලට සහභාගී වීම හේතුවෙන්ම ඩි විලියර්ස් වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයකු බවට පත්වුණා.

ඉන්දියාව , පාකිස්තානය , ඔස්ට්‍රේලියාව , බටහිර ඉන්දීය කොදෙව් , එංගලන්තය , බංග්ලාදේශය , මෙන්ම තමන් උපන් දකුණු අප්‍රිකාව යන රටවල විස්සයි විස්ස දේශීය ක්‍රිකට් තරගාවලිවලට වර්ෂය පුරාම ඩි විලියර්ස් සහභාගි වුණා.

සමුගැනීමේ තීරණය

මේ වන විට 37 වැනි වියේ පසුවන ඩි විලියර්ස් ක්‍රීඩාවෙන් සමු ගැනීම ගැන කියන්නේ මේ විදිහට.

"එය හිතාගන්නවත් බැරි ගමනක්.මම අද තීරණය කළා ක්‍රිකට් වලින් සමුගන්න.ගෙවත්තේ වැඩි මහල් සහෝදරයින් සමග ක්‍රීඩා කිරීමෙන් මගේ ක්‍රිකට් ගමන ආරම්භ වුණේ.මම ක්‍රිකට් ක්‍රීඩා කළේ පුදුම සතුටකින්.ඇබ්බැහිවීමකින්.පුදුමාකාර උනන්දුවකින්.දැන් මට වයස අවුරුදු 37යි.තව දුරටත් ගිනි දැල් වඩාත් දීප්තිමත්ව දැල්වෙන්නේ නැති බව මම තේරුම් ගත්තා."

"මේ තීරණය ගැනීමට මට බොහෝ කාලයක් ගත වුණා.බොහෝ හිතා බලා ගත් තීරණයක් මේක.ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන මගේ පවුලේ උදවිය සමග වැඩි කාලයක් ගත කිරීමට මම තීරණය කළා."

වසර 11ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මතක් කිරීමට ඩි විලියස් අමතක කලේ නැහැ.

"ඉතා දිගු සාර්ථක කාලයක් මම එම කණ්ඩායම එක්ක කතා කළා.වසර 11 කින් පසු ඔවුන්ගෙන් සමු ගැනීමට සිදුවුණා.එම කණ්ඩායමේ නායක මගේ මිත්‍ර විරාත් කෝලිට හා කණ්ඩායම් සගයින්ට , පුහුණුකරුවන්ට , එහි කාර්ය මණ්ඩලයට සහ ක්‍රීඩාලෝලීන්ට මා ගැන තැබූ විශ්වාසයට මම ස්තූතිවන්ත වෙනවා."

දකුණු අප්‍රිකානු බලධාරීන්

මෑත කාලය වන විට ඩි විලියර්ස් හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් සමග තිබුනේ එතරම් සුබවාදී සම්බන්ධයක් නොවේ.

ඊට ප්‍රධානම හේතුව වුනේ 2019 ලෝක කුසලානය ආසන්නයේ ඩි විලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමයි.

ඒ 2018 වර්ෂයේදී.

ඒ වන විට ඩිවිලියර්ස් පසු වූයේ 34 වැනි වියේ උපරිම දක්ෂතා අතර.

එ නිසා 2019 ලෝක කුසලානය දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දෙන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් ඩි විලියර්ස්ගෙන් ඉල්ලා සිටියත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.

ප්‍රතික්ෂේප කිරීම

එහෙත් ලෝක කුසලානය ආසන්න වෙද්දී තමා දකුණු අප්‍රිකාවෙන් වෙනුවෙන් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමතිබව ඩි විලියර්ස් දකුණු අප්‍රිකානු පාලක මණ්ඩලයට දැනුම් දුන්නා.

ඒ වන විටත් ලෝක කුසලාන කණ්ඩායම තෝරා ඇති හෙයින් ඩි විලියර්ස්ට අවස්ථාව ලබා දීම සඳහා එම කණ්ඩායමෙන් ක්‍රීඩකයෙකු ඉවත් කිරීම එම ක්‍රීඩකයාට කරන අසාධාරණයක් බව පවසමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

ඉකුත් සතියේ නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකානු වෙනුවෙන් සහභාගී කරවා ගැනීමට වත්මන් දකුණු අප්‍රිකානු පුහුණුකරු වන මාක් බවුචර් සහ හිටපු කණ්ඩායම් නායක ඩු ප්ලෙසි දැඩි උත්සාහයක් ගත්තද එයද දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කලා.

එසේ නොවන්නට අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඩි විලියර්ස්ගේ දස්කම් ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට හැකියාව තිබුණා.

දැක්වූ දස්කම්

1984 පෙබරවාරි 17 දකුණු අප්‍රිකාවේ උපත ලද ඩි විලියර්ස් දකුණු අප්‍රිකා වෙනුවෙන් ටෙස්ට් තරග 114 කට සහභාගි වී ලකුණු 8765 ක්ද (සාමාන්‍ය 50.66) එක්දින තරඟ 228 කට සහභාගි වී ලකුණු 9577 ක්ද (සාමාන්‍ය 53.50) විස්සයි විස්ස තරග 78 කට සහභාගි වී ලකුණු 1672 ක්ද (සාමාන්‍ය 26.12) රැස්කරගෙන තිබෙනවා.

ඒ හැරුණු කොට ඩි විලියර්ස් පන්දු රකින්නෙකු සහ කඩුලු රකින්නෙකු ලෙස දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ වලදී උඩ පන්දු 222 ක් හා ස්ටම්ප් කිරීම් 5 ක්ද , එක් දින තරඟ වලදී උඩ පන්දු 176 ක් ස්ටම්ප් කිරීම් 5 ක්ද , විස්සයි විස්ස තරගවලදී උඩ පන්දු 65 ක් හා ස්ටම්ප් කිරීම් 7ක්ද ලබාගෙන තිබෙනවා.

ඒ 2004 - 2018 යන වසර 14 තුළ.

ඒ හැරුණුකොට මුල් පෙලේ තරග 141 කදී ලකුණු 10689 ක්ද (සාමාන්‍ය 49.71) එක් දින ජාත්‍යන්තර තරග නොවන පළමු පෙළ එක් දින තරඟ (LIST A) 263 කදී ලකුණු 11123 ක්ද (සාමාන්‍ය 53.47) ලබාගෙන තිබෙන විශිෂ්ඨතම පිතිකරුවෙක්.

ඩි විලියර්ස් ලොව පුරා රටවල විස්සයි විස්ස තරග 340 කට සහභාගි වී ලකුණු 9424 ක්ද (සාමාන්‍ය 37.24) රැස් කොට තිබෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 22 ක් හා අර්ධ ශතක 46 ක්ද , එක් දින ශතක 25 ක් හා අර්ධ ශතක 53 ක්ද විස්සයි විස්ස අර්ධ ශතක 10 ක්ද ඩි විලියර්ස් රැස් කොට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 November 2021 08:29