May 02, 2024

තිසරගේ දෑතට BPL කිරුළ...

February 09, 2019
  • සයවන BPL කිරුළ තිසර පෙරේරා නියෝජනය කළ කොමීලා වික්ටෝරියන්ස් කණ්ඩායමට.
  • තරංඟගේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට අනුශූරතාවය.

සයවන වරට පැවති බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලියේ මෙවර ශූරතාවය දිනා ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත් කරමින්.

තරඟාවිලියේ මුලික වටය සඳහා කණ්ඩායම් 7ක් තරඟවැදුනු අතර ඒ අතරින් මුලික වටයේ පළමු ස්ථාන 4 දිනාගත් කණ්ඩායම් 4 අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහිදි අවසන් පුර්ව වටයේ මුල් තරඟයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම විසින් රාන්ග්පුර් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 08කින් පරාජයට පත් කරමින්ද, අවසන් පුර්ව වටයේ දෙවන තරඟයේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම විසින් රාන්ග්පුර් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 05කින් පරාජයට පත් කරමින්ද අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තරඟාවලියේ උද්වේගකාරිත්වය වැඩි කිරීම සඳහා මෙවරද විදෙස් ක්‍රීඩකයින් රැසක් එක්කරගෙන තිබු අතරට ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක්ද අයත් වුනා.

මෙවර තරඟාවලියේ අවසන් තරඟයේදී එකිනෙකා හමුවු කොමිලා වික්ටෝරියන්ස් සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම් දෙකෙහිම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් රුසක් සිටීම කැපී පෙණුනා. එහිදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් වන එවින් ලෙවිස්, ශහීඩ් අෆ්රිඩි, තිසර පෙරේරා සහ වහාබ් රියාස් තරඟ වැදුනු අතර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන්  උපුල් තරංග, සුනිල් නරෙයින්, කිරන් පොලාර්ඩ් සහ අන්ඩ්‍රේ රසල් තරඟයට එක්වුණා.

එහිදී අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනාගත්  ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහර දීමට ඉම්රුල් කයිස්ගේ නායකත්වයෙන් යුත් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ආරාධානා කළා.

ශකිබ්ගේ එම තීරණය අභියෝගයට ලක් කළ බංගලාදේශ සුපිරි වමත් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් අවසන් මහා තරඟය සම්පුර්ණයෙන්ම තම නමට ලියා ගත්තා. තරඟයේ දෙවන පන්දුවාරය තුළ රුබෙල් හුසේන් විසින් ප්‍රබල පිතිකරු එවින් ලෙවිස්ව ලකුණු 6කට ක්‍රීඩාගාරයට හරවා යැවුවද එතැන් පටන් ක්‍රීයාත්මක වු තමීම්ගේ ගිනිකෙළි සන්දර්හකය නැවැත්වීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙක් සමත් වුයේ නැත. තරඟයේ මුල් පන්දුව සඳහා පිටියට පිවිසි තමීම් අවසන් පන්දුව දක්වාම නොදැවී ක්‍රීඩා කළ අතර එම විශිෂ්ඨ ඉනිම පන්දුවාර 20 අවසානයේ නොදැවී ලකුණු 141ක් ලෙස සටහන් විය. එහිදී එකි ගිනිකෙළි සන්දර්ශනය තුළ තමීම් ඉක්බාල් විසින් දැවැන්ත 6 පහරවල් 10ක් සහ 4 පහරවල් 11ක් එල්ල කර තිබුණි. පන්දුවාර 20 අවසානයේ තමීම්ගේ ප්‍රහාරක වේගය 231.15 ක් ලෙස සනිටුවන් වුයේ ලකුණු 141ක ලබා ගැනීම සඳහාම තමීම් විසින් පන්දු 61ක් පමණක් වැය කර තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ කොමිලා වික්ටෝරියන්ස් ඉනිම 199-3 ක් ලෙස සනිටුවන් වීම හේතුවෙන් සහීඩ් අෆ්‍රිඩි හා තිසර පෙරේරා ඇතුළු කොමිලා පිතිකරුවන් 7 දෙනෙකුට පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීම හෝ අවශ්‍ය වුයේ නැත.

කෙසේ වෙතත් තමීම්ගේ දැවැන්ත ඉනීම හමුවේ තරඟය පහසුවෙන් අතහැර දැමීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ උපුල් තරංඟ සිතුවේ නැත. ප්‍රබල කොදෙව් පිතිකරු සුනිල් නාරායන් කිසිදු පන්දුවකට මුහුණ දීමට පෙරම දුවද්දි දැවීයාමකට හසුවු අතර එතැන් පටන් නවක පිතිකරු රොනී තලුක්දර් සමඟ එක්වු උපුල් තරංග පන්දුවාර 9ක් අවසානයේ ලකුණු 102ක් කරා  ඩකා ඩයිනමයිට්ස් ඉනීම ඔසවා තැබීමට සමත් විය. එහිදි ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංඟ පන්දු 27ක් තුළ වේගවත් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුයේ 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 4ක් සමගින්. තරංඟ සමඟ සටන්කාමි ඉනිමක් ක්‍රීඩා කළ රොනී තලුක්දර් පන්දු 38ක් තුළ ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වුවද තරංඟගේ සහ තලුක්දර්ගේ සබඳතාවය ජයග්‍රාහණය සඳහා අවැසිව තිබු ලකුණු ප්‍රමාණයෙන් හරි අඩක් පන්දුවාර 11ක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබියදි කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන තිබුණඳ, ඔවුන්ගේ දැවීයාමත් සමඟ අනෙක් සියළු ක්‍රීඩකයින් එකතුවී හෝ ඉතිරිව තිබු අඩ ලබා ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් වුයේ නැත. ශකීබ් අල් හසන්, කිරන් පොලාර්ඩ් සහ අන්ඩ්‍රේ රසල් වැනි සීමිත පන්දුවාර තරගවල නම රැන්දූ පිතිකරුවන් කොමිලා පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වු අතර දක්ෂ  පන්දු යැවීමක නිරත වු තිසර පෙරේරා ප්‍රබල කොදෙව් පිතිකරුවන් වු කිරන් පොලාර්ඩ් සහ අන්ඩ්‍රේ රසල්ව ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් තම පන්දුවාර 4 අවසන් ක‍ලේ ලකුනු 35ක් පමණක් ලබා දෙමින්. මීට අමතරව වහාබ් රියාස් කඩුලු 3ක් ද, මොහොමඩ් සයිෆුද්දින් කඩුලු 2ක් ද දවා ගැනීමත් සමඟ පන්දුවාර 20 අවසානයේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට කඩුළු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 182ක් පමණයි.

ඒ අනුව අවසන් තරඟය ලකුණු 17කින් ජයගත් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම 6 වැනි BPL ශුරතාවය දිනා ගැනීමට සමත් විය. 

තරඟයේ වීරයා සම්මානය තමීම් ඉක්බාල් විසින් දිනාගනු ලැබුවේ ඔහු ක්‍රීයාත්මක කළ විශිෂ්ඨ ඉනිම වෙනුවෙන්.

එසේම තරඟාවලියේ තරඟ 15ක් තුළ කඩුළු 23ක් දවාගත් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් තරඟාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

සටහන - විදර්ශන ප්‍රනාන්දු

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 February 2019 11:42