May 21, 2024

නව පෙරමුණේ නායකයා දිනේෂ් - එන්නේ පොහොට්ටුව ළකුණින්

ඒකාබද්ධ විපක්‍ෂය නව පෙරමුණක්‌ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට නෙළුම් පොහොට්‌ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව පෙරමුණ ලියාපදිංචි කිරීම සහ ප්‍රතිපත්ති සැකසීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර යන මහත්වරු මෙම නව පෙරමුණ ගොඩනැඟීම සඳහා මූලිකත්වය ගන්නා අතර ඊට එක්‌වීම සඳහා තවත් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන රැසක්‌ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද පැවසේ.

පෙරමුණේ නාමික නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට තීරණය වී ඇති බවත් මෙම නව පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගයෙන් ගොඩනැඟෙන බවත් වාර්තා වන අතර ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු 12 - 20 අතර පිරිසක්‌ මෙම නව පෙරමුණට සහයෝගය දීමට සූදානමින් සිටින බවත් ඔවුන්ගේ සහයෝගය ලබාගන්නා ආකාරය සම්බන්ධව මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති බවත් සඳහන් වේ.

නව පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ මූලික කටයුතු අවසන් කර ඇති අතර පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු, උප සභාපතිවරු, විපක්‍ෂ නායකවරු 200 කට වැඩි පිරිසක්‌ සිටින බව ද  ඉහත දේශපාලව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 January 2016 22:10