May 17, 2024

“ගාසා තීරය තවදුරටත් දරුවන්ට සුදුසු තැනක් නෙමෙයි” - UNICEF ප්‍රකාශ කරයි

එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ සන්නිවේදන අංශ ප්‍රධානී ජූලියට් ටූමා විසින් ප්‍රකාශයක් ලබාදෙමින් පවසා සිටියේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය හේතුවෙන් දරුවන් දැඩිව පීඩාවට පත්ව ඇති බවයි.

මෙය භයානක තත්ත්වයක් බවට පෙන්වා දෙන ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ගාසා තීරයේ පසුගිය දින 05 තුළ පලස්තීනයේ පමණක් ළමුන් 40ක් පමණ මිය ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවයි. එමෙන්ම එම කාලය තුළම ඊශ්‍රායලය තුළද ළමුන් දෙදෙනෙකු මිය ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම සටන් වහාම නවත්වන ලෙසද ඇය එහිදී සියලු දෙනාගෙන් ඉල්ලා තිබුණි. 

ගාසා තීරයේ පාසල් 30කටත්, ඊශ්‍රායලයේ පාසල් 03කටත් හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.

ජූලියට් ටූමා විසින් තවදුරටත් සඳහන් කර සිටියේ මේ මොහොතේ ගාසා තීරයේ ළමයින්ට කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොමැති බවයි. ඇය එහිදී සඳහන් කර සිටියේ “..ප්‍රචණ්ඩත්වය විසඳුම් ගෙන එන්නේ නැත. ප්‍රචණ්ඩත්වය තවත් වැඩි ප්‍රචණ්ඩත්වයක් ගෙන එනු ඇත. එයින් අදහස් කරන්නේ ළමයින් පළමුව දුක් විඳිනු ඇති බවත් ඔවුන් වැඩිපුර දුක් විඳිනු ඇති බවත්ය..” යනුවෙනි.

දින 06ක් පුරාවට පැවැත්වෙන ගැටුම්වලින් මේ වෙනතෙක් පලස්තීනයේ පුද්ගලයින් 180ක් මියගොස් ඇති අතර ඒ අතර දරුවන් 52ක් ද සිටියි. ඊශ්‍රායලයේ දරුවන් දෙදෙනෙකුව ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

Rate this item
(0 votes)