May 17, 2024

කැබිනට් මණ්ඩලය රවටයි - රියදුරු ටෙන්ඩරය අප්‍රිකාවටම දෙන්න වලි කයි Featured

මෙරට රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් මගින් සිදු කල නොහැකි බවට යලිත් වරක් රජය හා කැබිනට් මණ්ඩලය මුලා කිරීමේ කටයුත්තක මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අදාළ කාර්යය හැකිදැයි සොයා බලන ලෙස රජයේ ඉහල බලධාරීන් ප්‍රවාහන අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති අතර මේ අනුව ප්‍රවාහන අමාත්‍යංශයේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකු මේ වන විට උත්සහ කරමින් සිටින්නේ අදාල කාර්යය සිදු කල නොහැකි බවට වාර්තාවක් සපයා කෙසේ හෝ යලිත් වරක් රියදුරු බලපත්‍ර ටෙන්ඩරය වසර දෙකක කාලයක් සඳහා අදාළ දකුණු අප්‍රිකානු සමාගමට ලබා දීමටය.

මෙහිදී අදාල කටයුත්ත සිදු කල හැකිදැයි ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් විසින් මේ ටෙන්ඩරය සඳහා  දකුණු අප්‍රිකානු සමාගමත් සමග එක්ව කටයුතු කරන මෝටර් රථ ප්‍රවාහන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් තුෂාර සුරවීර ගෙන් පමණක් විමසා ඇති අතර පරිගණක අංශයේ පළපුරුදු නිලධාරීන්ගෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ සේවකයන්ගෙන් හෝ කරුණු විමසා නොමැත.

තුෂාර සුරවීර අදාල දකුණු අප්‍රිකානු සමාගමට පක්ෂපාතීව කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජිකයන්ද චෝදනා කරන ලද අතර එහිදී ඔහු නියෝජනය කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද එසේත් නැතිනම් දකුණු අප්‍රිකානු සමාගමද යනුවෙන් ඔවුන් විමසන ලදී.

මේ කාර්යය මේ වන විට රජයට හිමිවී ඇති අදාළ යන්ත්‍ර යොදාගෙන පහසුවෙන් සිදුකල හැකිව තිබියදී මාසිකව රුපියල් ලක්ෂ දහසත් -එක්දහස් පන්සියයත් අතර මුදලක් දකුණු අප්‍රිකානු සමාගමකට ලබාදී ඒ හරහා විශාල කොමිස් මුදලක් ලබා ගැනීම මොවුන්ගේ අරමුණවී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වගකිව යුතු පාර්ශව වගකීම ගන්නේ නම් එය  එහි සේවකයන් ලවා සිදුකරගන්නා බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර හා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු පසුගියදා ප්‍රකාශ කරතිබිණි.

රුපියල් මිලියන නවදහසක් වටිනා අදාල දීර්ග කිරීමේ ආන්දෝලනාත්මක  දුෂිත ගනුදෙනුවට විරෝධය පළකරමින්  ඒ සඳහා   වසර විස්සකට වඩා පැරණි තාක්ෂණයක් භාවිත කිරීම, ඒ සඳහා වැය වන මුදල ඉතාම වැඩිවීම  හා  ඒවා දේශීයව සිදුකල හැකිව තිබියදී එසේ සිදු නොකිරීම ආදී චෝදනා නගමින් රජයට අයත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකුද පසුගියදා ඉල්ලා අස්වූ  අතර ඔහුව අදාල තනතුරට පත්කර තිබුනේ නව රජය පත්වීමෙන් පසු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Last modified on Thursday, 18 June 2020 08:23