May 17, 2024

දිවයින වටා වන මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි - විශේෂ මෙහෙයුම් රැසක් Featured

නීතිවිරෝධී සංක‍්‍රමණ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධි ක්‍රියා මැඩ පැවැත්වීමට දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ දිවයින් වටා මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳ සිදු කරන වැඩපිළිවෙල නිසියාකාරව ක්‍රියාත්මක වන අතර මේ කාලසීමාව තුල විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

එම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් පසුගිය දින වල නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කොරෝනා අවදානමත් සමඟ නීති විරෝධි සංක්‍රමණ වැලැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මුහුදු මාර්ග ඔස්සේ සිදුවිය හැකි නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ද ඔහු සඳහන් කළේය.

දේශීය මුහුදු තීරය මෙන්ම ජාත්‍යාන්තර මුහුදු සීමාවේ ද මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ නෞකා යොදවා ඇති බවත් ඊට ගුවන් හමුදාවේ සහයෝගයද හිමිවන බවත්  නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

වැඩි ධීවර ඝණත්වයක් පවතින උතුරු සහ වයඹ මුහුදු ප‍්‍රදේශවල විශේෂ මෙහෙයුම් රැසක් කි‍්‍රයාත්මක කර ඇති බව ද මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග තුළ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශද සහයෝගයෙන් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.